ලෝක ශූරිය ක්‍රීඩා පිටියෙන් සමුගනී

78

ඔලිම්පික් පදක්කම් ලාභී වර්තමාන 100m ඉසව්වේ ලෝක ශූරිය වන ජැමෙයිකානු ක්‍රීඩිකා ශෙලී ඈන් ෆ්රාසර් විසින් තම සමුගැනීම පිළිබඳව අදහස් දක්වා තිබෙනවා. 2021 වර්ෂයේ ලෝක ශූරතා තරගාවලියෙන් පසු තමන් ක්‍රීඩා දිවියට සමු දීමට බලාපොරොත්තුවෙන් පසු වන බව ඇය ප්‍රකාශ කොට තිබෙනවා.

ඔලිම්පික් උළෙලට දින නිකුත් වෙයි

මෙම වසරේ පැවත්වීමට නියමිත බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් ක්‍රීඩා උළෙල ලෙස …..

තිස් තුන්වැනි වියෙහි පසුවන ශෙලී 2017 වසරේ සිට තාවකාලිකව පිටියෙන් ඉවත්ව සිටින්නේ තම දරුවාගේ උපත නිසාවෙනි. එතැන් වසර දෙකකට පසුව 2019 වසරේ නැවතත් ක්‍රීඩා පිටියට පා තබන ඈ 2019 වසරේ දෝහා හී පැවති ලෝක ශූරතා තරගාවලියේ 100m ඉසව්වේ රන් පදක්කම දින ගන්නේ ලෝක ශූරතා තරගාවලියක එම දස්කම පෑ වයස්ගතම ක්‍රීඩිකාව වෙමිනි.

2019 වසරේ ලෝක ශූරතාවලියේ 100m ඉසව්ව ජය ගැනීමෙන් අනතුරුව සිය පුත්‍රයා සමග

2008 වසරේ දී වයස 21ක් සපිරෙන විට චීනයේ බීජිං නුවර පැවති ගිම්හාන ඔලිම්පික් උළෙල නියෝජනය කරමින් කරළියට පැමිණි ඈ එම තරගාවලියේ දී 100m ඉසව්ව තත්පර 10.78කින් නිමා කරමින් රන් පදක්කම දිනා ගන්නේ එම තරගාවලියේ ජවන හා පිටිය ඉසව්වල ජැමෙයිකානුවන් පතුරවා තිබූ ආධිපත්‍ය තවත් පුළුල් කරමිනි.

එයින් වසරකට පසුව පැවති ලෝක ශූරතා තරගාවලියේ දී සිය ඉසව්වේ ගෞරවය රැක ගන්නා ශෙලී ඈන් එම තරගාවලියේ 100m ඉසව්ව තත්පර 10.73 කාලයකින් අවසන් කරන්නේ තම දක්ෂතා තවත් ඉහළ නංවමින් වේ. එයින් පසු ඇයට ආබාධවලින් බැට කෑමට සිදු වන අතර එය නිසාවෙන් 2011 වර්ෂයේ පැවති “2011 Daegu World Championships” තරගාවලියේ 100m ඉසව්ව පදක්කමක් නොමැතිව අවසන් කරන්නේ හතරවැන්නා ලෙස නිමා කරමිනි.

එම පරාජයෙන් වසරකට පසුව එංගලන්තයේ ලන්ඩන් නුවරට ඈ පැමිණෙන්නේ 30 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ දී තම ඔලිම්පික් තරග ඉසව්වෙ ගෞරවය එලෙසම රඳවා තබා ගැනීමේ බලාපොරොත්තුවෙනි. එහි දී සිය සුපුරුදු ඉසව්ව වැනි 100m තරගය තත්පර 10.75කින් නිමා කරමින් ඇය ජය ගන්නේ ඔලිම්පික් තරගාවලියක එම ඉසව්ව සඳහා වාර්තා වූ දෙවන හොදම කාලය වාර්තා කරමිනි.

ශෙලී ඈන් 2012 ගිම්හාන ඔලිම්පික් උළෙලේ 100m ඉසව්ව ජය ගැනීමෙන් අනතුරුව

සිය ක්‍රීඩා දිවියේ හොඳම වසර ආරම්භ කරමින් 2013 වර්ෂයේ පැවති ලෝක ශූරතා තරගාවලියේ 100m ඉසව්ව තත්පර 10.71 කාලයකින් අවසන් කරන්නේ ලෝක ශූරතා තරගාවලියක එම ඉසව්ව සඳහා වාර්තා වූ දෙවන හොදම කාලය වාර්තා කරමිනි. 

එයට අමතරව 200m ඉසව්ව තත්පර 22.17ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගත් අතර ඇය 100X4 ඉසව්වට සහභාගි වීමෙන් දිනා ගත් රන් පදක්කමත් සමඟ තරගාවලිය නිමා කරන්නේ රන් පදක්කම් තුනක් තම මල්ලට එක් කර ගනිමිනි.

2015 වර්ෂයේ පැවති ලෝක ශූරතා තරගාවලියේ ද 100m ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නා ශෙලී ඈන් ඉතිහාස ගත වන්නේ ලෝක ශූරතා තරගාවලියක එම ඉසව්ව තුන් වතාවක් ජය ගත් ප්‍රථම ක්‍රීඩිකාව වෙමිනි. 

සිය ඉසව්වේ ගෞරවයත් සිය තුන්වැනි ඔලිම්පික් රන් පදක්කමත් ලබා ගැනීමේ අරමුණින් 2016 වර්ෂයේ බ්‍රසීලයේ පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලට සහභාගි වූ ඇයට අවාසනාව පැමිණෙන්නේ ආබාධ ඇය පසු පස පන්නා ආ නිසාවෙනි. අවසන් පූර්ව තරගයෙන් පසුවත් පාදයේ ආබාධයෙන් පීඩාවට පත් වූ ඇයට එම තරගාවලියේ තම ඉසව්ව නිමා කිරීමට සිදු වන්නේ ලෝකඩ පදක්කමකින් සෑහීමට පත් වෙමිනි.

2017 වර්ෂයේ මාර්තු මස නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා පිටියෙන් තාවකාලිකව ඈ සමුගන්නේ තම දරුවාගේ උපත බලාපොරොත්තුවෙනි. එම වර්ෂයේ අගෝස්තු මස දී මව් පදවියට පත් වූ ශෙලී ඈන් නැවතත් ක්‍රීඩා පිටියේ කරළියට පැමිණෙන්නේ 2019 වසරේ ලැබූ ජයත් සමඟිනි.

මේ වන විට ජූලි මස ආරම්භ වීමට නියමිත ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වීමට බලාපොරොත්තුවෙන් පසු වෙන ශෙලී ඈන් තම ක්‍රීඩා දිවියෙන් සමුගැනීම ගැන අදහස් දක්වමින් පැවසුවේ තම නිවසට සමීපව පැවැත්වෙන තරගාවලියෙන් පසුව සමුගැනීමට සූදානම් බවයි.

“මම වසරක කාලයක් එය සඳහා ගන්නවා ඒ නිසා ටෝකියෝ ඔලිම්පික් තරගාවලියෙන් පසු මට එම තීරණය ගත හැකියි. මම හොදින් පසු වෙනවා අවසාන වසර දෙක මට ඉතාම හොඳ නිවාඩුවක් ලැබුණා, එයින් මට විශාල දිරිගැන්වීමක් ලැබුණා ටෝකියෝ ගමනට සූදානම් වීමට” යැයි ඇය වැඩි දුරටත් පවසා සිටියා.

වසර දොළහක ක්‍රීඩා දිවිය තුළ දී ඔලිම්පික් රන් පදක්කම් දෙකක් සහ ලෝක ශූරතා රන් පදක්කම් නවයක් දිනා ගත් මෙම කෙටි දුර ධාවන ශූරිය තම ක්‍රීඩා දිවියේ අවසන් අදියර කෙසේ නිමා කරන්නේ ද යන්න ක්‍රීඩාලෝලීන් සියල්ල ඉතා උවමනාවෙන් බලා සිටී. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<