All Blacks සහ Les Bleus සුපිරි අටට මඟ පාදා ගනී

75

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ තෙවැනි සති අන්තය නිමා කරමින් අද (6) දිනයේ පැවති මූලික වටයේ තරග ද්විත්වයකින් ජය ගැනීමට ප්‍රබල නවසීලන්ත සහ ප්‍රංශ කණ්ඩායම් සමත් විය. 

නවසීලන්තය සහ නැමීබියාව – B කාණ්ඩය

නායක කිරන් රීඩ් ඇතුළුව පසුගිය තරගය සඳහා ක්‍රීඩා කළ ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම විවේක ගන්වමින් මෙම තරගයට අවතීර්ණ වූ All Blacks කණ්ඩායමට පළමු මිනිත්තු 30 තුල ලකුණු රැස් කිරීමේ අවස්ථා සොයා යාමට දැඩි වෑයමක් ගැනීමට සිදු විය. 

අතිශය සටන්කාමි තරග රටාවක නියැලුණු නැමීබියානු ක්‍රීඩකයින් ලැබුණු දඬුවම් පහර අවස්ථාවන් ත්‍රිත්වයම සාර්ථක කරගත්තේ All Blacks ක්‍රීඩකයින් විසින් ආරම්භයේ දී වාර්තා කළ උත්සාහක දිනුම් ද්විත්වයට සාර්ථක පිළිතුරක් ලබා දෙමිනි.

ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ ජපානයට ජයපැන්

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ තරගකාරී තවත් එක් සතිඅන්තයක ආරම්භය සනිටුහන් …

කෙසේ නමුත් ජවසම්පන්න නවසීලන්ත ක්‍රීඩකයින් නිහඬව තබා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවුනු අතර පළමු අර්ධය නිමා වීමට මත්තෙන් Matau සහ Smith  සුසංයෝගය අවස්ථා දෙකක දී ධවල රේඛාව අභිබවා දිව යමින් All Blacks කණ්ඩායමට හිතකර ලකුණු පරතරයක් ගොඩනඟාලීමට දායක විය.

පළමු අර්ධය: නවසීලන්තය 24 (4T,2C) – 09 (3P) නැමීබියාව 

තරගයේ ප්‍රථම භාගයේ දී ම උත්සාහක දිනුම් හතරක් වාර්තා කරමින් අතිරේක ප්‍රසාද ලකුණකට හිමිකම් කී නවසීලන්ත ක්‍රීඩකයින් දෙවන අර්ධයේ දී තවත් තම ආක්‍රමණයන් තර කළේ නැමීබියා කණ්ඩායම හට ස්ථාවර වීමට කිසිදු ඉඩක් ලබා නොදෙමිනි.

Anton Lienert-Brown, Sevu Reece සහ Ben Smith ද්විත්ව උත්සාහක දිනුම්ලාභීන් ලෙස ගෞරව හිමිකර ගනිද්දී Jordie Barret එක් උත්සාහක දිනුමක් ද සමඟින් තමන්ට ලැබුණු ප්‍රවර්තන අවස්ථා 11න් 8ක්ම නිවැරදිව ගෝල කණු අතරින් පා කර හැරියේය.

ඒ අනුව මෙතෙක් සහභාගී වූ සියලුම තරග ජයග්‍රාහී සටහනකින් නිමා කළ නවසීලන්ත කණ්ඩායම B කාණ්ඩයේ පෙරමුණ හිමිකර ගනිමින් සුපිරි 8දෙනාගේ වටයේ තම ආසනය වෙන්කරවා ගැනීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය: නවසීලන්තය 71 (11T,8C) – 09 (3P) නැමීබියාව 

තරගයේ වීරයා – Anton Lienert-Brown (නවසීලන්තය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • නවසීලන්තය – Sevu Reece (2T), Anton Lienert-Brown (2T), Angus Ta,avao-Matau (1T), Ben Smith (2T), Joe Moody (1T), Sam Whitelock (1T), TJ Perenara (1T),   Jordie Barrett (1T,8C), 
  • නැමීබියාව – Damian Stevens (3P)

දකුණු අප්‍රිකානු පීඩනය හමුවේ ඉතාලිය අසරණයි!

2019 රග්බි ලෝක කුසලානයේ B කාණ්ඩයේ තවත් තරගයක් අද (04) ජපානයේ කොබේ ශිසෞකා …

ප්‍රංශය සහ ටොංගා – C කාණ්ඩය

ඇමරිකා එක්සත් ජනපදයට දරුණු පරාජයක් හිමිකර දෙමින් ටොංගා සටනට පෙර සූදානම් වූ ප්‍රංශ කණ්ඩායම ආරම්භයේ සිටම ටොංගා බල ප්‍රදේශය ආක්‍රමණය කළේ තරගයේ පාලනය තමන් නතුකර ගැනීමේ අටියෙනි.

ඔවුන්ගේ සැලසුම් අකුරටම ක්‍රියාවට නංවමින් දිනයේ පළමු වරට ලකුණු පුවරුව සක්‍රිය කිරීමේ කාර්‍යභරය Vakatawa සහ N’tamack දෙදෙනා විසින් නිසියාකාරව ඉටු කළේ එක් ප්‍රවර්තිත උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරකින් ප්‍රංශ කණ්ඩායම ඉහළින් ඔසවා තබමිනි.

ඉන් අනතුරුව නැවත වතාවක් ජීවය ලැබූ ප්‍රංශ ක්‍රීඩකයින් ඔවුන් ගොඩනඟාගත් රිද්මය එලෙසම පවත්වා ගනිමින් ධවල රේඛාව පසුකොට යාමට සමත්කම් දැක්වීය. එම උත්සාහක දිනුමේ හිමිකාරත්වය තම නමින් වෙන්කරවා ගැනීමට Aliverati Raka සමත් විය.

දෙවන අර්ධය සඳහා තරගය නතර කිරීමට සුළු මොහොතක් ඉතිරිව තිබිය දී පණ ගැන්වුනු ටොංගා ක්‍රීඩකයින් ප්‍රංශ කණ්ඩායම මවිත කරමින් අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කළේ තරගය තවමත් අවසන් වී නොමැති බවට ප්‍රතිවාදීන් හට රතු එළියක් දල්වාලමිනි.

සීමා ඉරක් ඇඳ හික්මීමෙන් නැරඹිය යුතු ජපානයේ රග්බි ලෝක කුසලානය

පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරන විට ඔබේ ජංගම දුරකථනයෙන් ඇමතුම් ගන්න තහනම්? හ්ම්ම්ම්ම් …

පළමු අර්ධය: ප්‍රංශය 17 (2T,2C,1P) – 07 (1T,1C) ටොංගා

පළමු අර්ධයේ දී තමන් සිදු කළ අඩුපාඩු පිළිබඳ මනා අවබෝධයකින් යුතුව තරග බිමට පා තැබූ ටොංගා ක්‍රීඩකයින් තවත් ප්‍රවර්තිත උත්සාහක දිනුම දෙකකින් ලකුණු පුවරුව වර්ණවත් කළේ පැමිණ සිටි ප්‍රේක්ෂක ජනයාගේ ජයඝෝෂා මධ්‍යයේය.

කෙසේ නමුත් නොසැලකිලිමත්කම නිසාවෙන් ප්‍රතිවාදීන් හට පූජා කළ දඬුවම් පහර දෙක අවසානයේ දී තරගයේ ඉරණම ටොංගා ක්‍රීඩකයින්ට එරෙහිව ලියැවීමට බලපෑවේ ඉතාමත් අවාසනාවන්ත අයුරිනි. 

මෙම කාලසීමාව තුල දී ප්‍රංශ ක්‍රීඩකයින් හට උත්සාහක දිනුම් රේඛාව පසුකොට යාමට කිසිදු අවකාශයක් ලබා නොදීමට ටොංගා පසුපෙළට හැකි වීම කැපී පෙනුණි.

ඒ අනුව C කාණ්ඩයේ ජයග්‍රාහකයා තීරණය කෙරෙන තීරණාත්මක එංගලන්තය සහ ප්‍රංශය අතර තරගය එළඹෙන 12 වැනිදා යොකොහමා නුවර දී ක්‍රියාත්මක වීමට නියමිතයි.

අවසන් ලකුණු තත්වය: ප්‍රංශය 23 (2T,2C,3P)  – 21 (3T,3C) ටොංගා

තරගයේ වීරයා – Aliverati Raka (ප්‍රංශය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • ප්‍රංශය – Virimi Vakatawa (1T), Alivereti Raka (1T), Romain N’Tamack (3P,2C)
  • ටොංගා – Sonatane Takulua (1T,2C), Mali Hingano (1T), Zane Kapeli (1T), Latiume Fosita (1C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<