ගුවන් හමුදා රග්බි පුහුණුකාර තනතුර වෙනස් වෙයි

399
Shamly Nawaz

ඉසිපතන සහ CR&FC රග්බි කණ්ඩායම් මෙන්ම ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු වන ශම්ලි නවාස් (Shamly Nawaz) Dialog අන්තර් සමාජ රග්බි මීළඟ තරග වාරයේ දී ගුවන් හමුදා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි. 

2017 වසරේ පොලිස් කණ්ඩායම සමඟින් තිබූ වැඩ කටයුතු අවසන් කිරීමෙන් පසුව ශම්ලි හට අන්තර් සමාජ කණ්ඩායමක් සමඟින් එක්වන මුල්ම අවස්ථාව මෙය වන අතර ඔහු මේ වන විට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ පුහුණුකරු ලෙස ද කටයුතු කරයි.

ගුවන් හමුදා කණ්ඩායම සතුව ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම සිටින නමුත් ඔවුන් දිගින් දිගටම දක්ෂතා දැක්වීමට අසමත් වීම නිසාවෙන් 2015 වසරේ සිටම ඔවුන්ට  අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ අවසාන කණ්ඩායම් කිහිපයේ රැඳී සිටීමට සිදු විය.

තවත් රග්බි පුවත්:

එසේ නමුත් 2018 වසරේ පැවති Dialog Clifford Cup තරගාවලිය අනුශූරයන් ලෙස අවසන් කිරීමට ගුවන් හමුදා රග්බි කණ්ඩායම සමත් වූ අතර එය ඔවුන් මෑත වකවානුවේ ලබා ගත් ඉහළම ජයග්‍රහණය ලෙස ද හැඳින්විය හැක.

එම නිසාවෙන් මෙම කණ්ඩායම වැටි තිබෙන අගාධයෙන් ගොඩගනිමින් එළඹෙන අන්තර් සමාජ රග්බි තරගාවලියේ දී ඉහළ දස්කම් දැක්වීමට කණ්ඩායම සූදානම් කිරීමට ශම්ලි නවාස් හට විශාල වගකීමක් වනු ඇත.

එමෙන්ම කොරෝනා වසංගතය නිසාවෙන් නැවතුණ රග්බි පිටියේ වැඩ කටයුතු ආරම්භ කරමින් ගුවන් හමුදාව විසින් පැවැත්වීමට සූදානමින් සිටින Commanders රග්බි තරගාවලිය සාර්ථකව පැවැත්වීම සහ සිය කණ්ඩායම ඒ සඳහා සූදානම් කිරීම ඔහුගේ මුල්ම රාජකාරිය වේ.

ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සහ ගුවන් හමුදාව එක්ව සංවිධානය කරන Commanders රග්බි තරගාවලිය මාර්තු මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති නමුත් එය පැවැත්වෙන ආකාරය පිළිබඳව කිසිදු විස්තරයක් ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසින් මේ දක්වා ප්‍රකාශයට පත් කර නොමැත.

එමෙන්ම කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නිසාවෙන් 2021/22 Dialog අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය පැවැත්වෙනවා ද නැද්ද යන්න මේ දක්වා තහවුරු කර නොමැත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<