ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුවේ මුල් පුටුව අළුත් වෙයි 

456

ඉදිරි දෙවසරක කාලසීමාව සඳහා එනම් 2021/22 වර්ෂයන් සඳහා ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටු භාර ප්‍රධාන නිලධාරිවරයා ලෙස ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා පොලිස් සහ මහනුවර ක්‍රීඩා සමාජයන් නියෝජනය කළ අති දක්ෂ ක්‍රීඩකයෙකු වන අශෝක ජයසේන මහතා තෝරා පත්කර ගැනීමට කටයුතු කර තිබේ. 

මෙම තනතුර සඳහා අශෝක මහතාගේ නම ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසින් පසුගියදා යෝජනා කර ඇති අතර අද (06) දිනයේ දී පැවති සාකච්ඡාවන්ගෙන් අනතුරුව ඊට අනුමැතිය ලබාදීමට ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යංශය පියවර ගෙන තිබේ. ඒ අනුව වසර දෙකක සාර්ථක ධුර කාල සීමාව අවසන් කළ රොහාන් අබේනායක මහතාගෙන් අනතුරුව ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුවේ මුල් පුටුව අශෝක ජයසේන මහතාට හිමි වනු ඇත. 

කොළඹ ආනන්ද විද්‍යාලයේ රග්බි කණ්ඩායම නියෝජනය කරමින් සිය දීප්තිමත් පාසල් රග්බි ක්‍රීඩා දිවියට අත්පොත් තැබූ ඒ මහතා, එම කාල සමය තුළදී සෑම වයස් කාණ්ඩයකම සුපිරි දක්ෂතා දක්වමින් රග්බි ක්‍රීඩාවට තමන් උපන් හපනෙකු බව සනාථ කර පෙන්වූයේ 1988 වසරේ දී ශ්‍රී ලංකා පාසල් සත්සාමාජික රග්බි කණ්ඩායමේ සාමාජිකයෙකු බවට පත්වීමේ වරම් උදාකර ගනිමිනි. 

තවත් රග්බි පුවත් කියවන්න:

පාසල් රග්බි පිටියට සමුදීමෙන් අනතුරුව උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සිය රාජකාරී කටයුතු ආරම්භ කළ අශෝක මහතා, සිය වෘත්තීමය දිවියට අමතරව ක්‍රීඩා දිවියෙන්ද පොලිස් ක්‍රීඩා සමාජය සමඟින් අත්වැල් බැඳගන්නේ අඛණ්ඩව තෙවරක් අන්තර් සමාජ රග්බි පිටියේ ශූරයින් ලෙස කිරුළු පැළඳි එම අභිමානවත් කණ්ඩායමේ කීර්තිමත් සාමාජිකයෙකු බවට පත්වෙමිනි. 

ඉන් නොනැවතුනු ඔහුගේ ජයග්‍රාහී රග්බි ගමන් මඟෙහි මීළඟ නවාතැන බවට පත්වූයේ සුප්‍රසිද්ධ මහනුවර ක්‍රීඩා සමාජය යි. 2005 වර්ෂය තෙක් එම කණ්ඩායම නියෝජනය කරමින් දස්කම් පෑ අශෝක මහතා තම වර්ණවත් ක්‍රීඩා දිවියට සමුදීමට පෙරාතුව තවත් අන්තර් සමාජ කිරුළු කිහිපයකම පහස විඳගැනීමට ද වාසනාවන්ත විය. 1989 වර්ෂයේ සිට 2005 වර්ෂය දක්වා ජාතික කණ්ඩායම වෙනුවෙන් තම උපරිමය ලබාදෙමින් මෙරටින් බිහි වූ දක්ෂතම ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙසින් කාගෙත් ගෞරවාදරයට පාත්‍රවීමට ද ඔහු සමත්කම් දැක්විය. 

තේරීම් කමිටුව සඳහා අදාළ සෙසු නිලධාරී මණ්ඩලය තෝරා පත්කර ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ඉදිරියේ දී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<