බංග්ලාදේශ ක්‍රීඩකයෙකුට කොරෝනා; ශ්‍රී ලංකා තරගාවලියත් අහිමි වෙන ලකුණු

298
Shadman

බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු Shadman Islam හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහුට බංග්ලාදේශය පළමු පෙළ පිටියේ ප්‍රධානතම තරගාවලියක් වන National Cricket League තරගාවලිය සඳහා සහභාගි වීමේ අවස්ථාව අහිමි වන අතර එම නිසාවෙන් අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිතව ඇති ටෙස්ට් තරගාවලියට සූදානම් වීමේ අවස්ථාව ද මගහැරී යනු ඇත.

කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසු Cricbuzz වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් Shadman Islam ප්‍රකාශ කර සිටියේ,

“මම හෝටල් කාමරයේ නිරෝධායනයට ලක්වෙමින් මගේ තෙවැනි පරීක්ෂණ වාර්තාව ලැබනතුරු සිටින්නේ. එම වාර්තාව යහපත් වුවහොත් මට ක්‍රීඩා කරන්න අවස්ථාව හිමි වෙයි.” 

තරගාවලිය තුළ දී ඇතිවූ ආබාධයක් නිසාවෙන් Shadman Islam හට බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයට ද ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වුනේ නැහැ.

National Cricket League තරගාවලිය ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා පෙර සූදානමක් ලෙස ගැනීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් එම තරගාවලිය ක්‍රීඩකයන්ට අනිවාර්ය කර තිබුණා.

තවත් ක්‍රිකට් පුවත්:  

කොරෝනා වසංගතය නිසාවෙන් පසුගිය වසරේ National Cricket League තරගාවලිය අවලංගු කිරීමට සිදුවීමෙන් පසුව දේශීය තරගාවලි ද්විත්වයක් සාර්ථකව පවත්වා අවසන් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට හැකි වීම නිසාවෙන් මෙවර National Cricket League තරගාවලිය මෙම මස 22 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

ඔහුට අමතරව බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් නායක Mominul Haque හට ද කොරෝනා ආසාදනය වී ඇති බව පසුගිය 19 වැනිදා සිදු කළ පරීක්ෂාවෙන් තහවුරු වූ නමුත් දෙවන පරීක්ෂාවෙන් ඔහු ආසාදිතයෙකු නොවන බව තහවුරු වී තිබුණා.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම් පසුගිය වසරේ ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වසංගතය නිසාවෙන් එම තරගාවලිය කල්දැමීමට සිදු වුනා.

පසුව එම තරගාවලිය එම වසරේ ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට සැලසුම් කළ නමුත් දින 14ක නිරෝධායන කාලසීමාවට අකමැත්ත පළකරමින් තරගාවලිය නැවත වරක් කල්දමන ලෙස බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වා තිබුණා.

එලෙස දෙවතාවක් කල්යෑමෙන් අනතුරුව තරගාවලිය එළඹෙන අප්‍රේල් මස 12 වැනිදා ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානමින් ඇති අතර තරගාවලියේ තරග ද්විත්වයම පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<