විශ්වාසය නැතිනම් මොකුත් කරන්න බැහැ – දිමුත් කරුණාරත්න

1829

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (14) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ආරම්භ වෙනවා.‍

ගෙවී ගිය වසර 7 අඳුරු මතකයන් මකා දාන්න ශ්‍රී ලංකාව ගාල්ලට

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ……..

මෙම තරගාවලිය ජය ගැනීම වෙනුවෙන් කණ්ඩායම් දෙකම ඉතාමත් හොඳ සූදානමකින් පසුවන්නේ මෙම ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවට ඇතුළත්  නිසාවෙනි.

1982 වසරේ සිට පැවත එන නවසීලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල මේ දක්වා අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් තරග 34ක දී එකිනෙකා මුණගැසී ඇති අතර එයින් තරග 15ක ජය නවසීලන්තය සතු වෙද්දී ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 8ක් ජයග්‍රහණය කර ඇත. තවත් ටෙස්ට් තරග 11ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

“අපි එංගලන්තය සමඟ පැවැත්වුණු තරගාවලියේ දී යම් පසුබැස්මකට ලක්වුනා. ඔවුන් අපේ පිතිකරුවන්ව ග්‍රහණයට ගෙන හොඳින් පන්දු යැවුවා. අපි ඒ තරගාවලියේ දී ඉගෙන ගත්ත දේවල් හෙට ආරම්භ වෙන නවසීලන්ත තරගයට යොදාගන්න බලාපොරොත්තු වෙනවා.” යැයි තරගයට පෙර අද (13) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පැවසීය. 

ප්‍රේක්ෂකයින් 35,000කට පමණ තරග නැරඹීමට හැකි ලෙස මෙම ක්‍රීඩා පිටිය සැලසුම් කර ඇත. දඟපන්දු යවන්නන්ගේ පාරාදීසයක් ලෙස සැලකෙන ගාලු තණතීරුව මත 2018 වර්ෂයේ නොවැම්බර් මාසයට පසුව ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

මේ ක්‍රිකට් පිටියේ තණතීරු මත ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරග 3ක් පවත්වා තිබෙන අතර ඒ තරග තුනම ශ්‍රී ලංකාව ජයගෙන තිබීම සුවිශේෂී වෙනවා.

ඊයේ (12) දිනය පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සිය පුහුණුවීම් සැසි  වාර ඉතාමත් හොඳින් අවසන් කළ නමුත් අද (14) දිනයේ දී පැවැත්වීමට නියමිතව තිබුණු පුහුණු සැසි වාර දෙක දිනය පුරාවටම ඇදහැළුණු ධාරානිපාත වර්ෂාපතනය නිසා පැවැත්වීමට අවස්ථාව උදා වුනේ නැහැ.   

තරගයේ දී ප්‍රබල සාධකයක් විය හැකි කාලගුණ තත්ත්වය පිරික්සා බැලූ විට, පළමු ටෙස්ට් තරගය පුරාවටම විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වීමට වැඩි ඉඩකඩක් ඇත. පැයට කිලෝමීටර් 16 – 26 දක්වා සුළඟේ වේගය විචලනය විය හැකි අතර, 26°C – 31°C වැනි පරාසයක උෂ්ණත්වයක් අපේක්ෂා කිරීමට පුළුවන්.

Video- දික්වැල්ල පළමු තේරීම; චන්දිමාල්, කුසල් standby – දිමුත්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත ……

“අපිට හොඳ කණ්ඩායමක් ඉන්නවා, ඔවුන් තුල විශ්වාසය ගොඩනංවන එක තමයි ගොඩක් වැදගත් වන්නේ. විශ්වාසය තිබ්බොත් අපිට ඕනම දෙයක් කරන්න පුළුවන්. රංගන අයියගෙන් පස්සේ අපිට ඉන්න හොඳම දඟපන්දු යවන්නා වෙන්නේ දිල්රුවන්, ඔහු ආබාධයක් නිසා මේ තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ. නමුත් අකිල, ලසිත් ඇඹුල්දෙණිය මේ තරගයේ දී ඉතාමත් හොඳින් ක්‍රීඩා කරයි කියලා මම හිතනවා.” යැයි නායක කරුණාරත්න වැඩිදුරටත් පැවසීය. 

එසේම ශ්‍රී ලංකාව තුළ දී නවසීලන්තය හා ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 15ක දී එකිනෙකා මුණගැසී තිබෙන අතර ඉන් තරග 5ක ජය ශ්‍රී ලංකාව හිමිකර ගන්නා විට තරග 4ක ජය හිමිකර ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වී ඇත. 2012 නොවැම්බර් මාසයේ දී ගාල්ලේ පැවති ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ජය ගත් අතර ඉන්පසුව පැවති ටෙස්ට් තරග හයම නවසීලන්තය ජයගෙන තිබෙනවා.

>>නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය HUB එක සඳහා පිවිසෙන්න<<

“මේක තමයි ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අපි සහභාගී වෙන පළමු තරගාවලිය අපිට මේ තරගාවලියේ ජයග්‍රහණය ගොඩක් වැදගත්, හැබැයි අපි හැම දවසක්ම හොඳින් සැලසුම් කරලා නවසීලන්තය එක්ක සෙල්ලම් කරන්න ඕන. මොකද නවසීලන්ත කණ්ඩායමත් අපේ රටේ දී හොඳින් කරලා තියෙනවා අතීතය අරන් බැලුවහම. මේ තරගයේ දී දඟපන්දු යවන්නන්ට ලොකු වගකීමක් තිබෙනවා ඉටු කරන්න. ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය කියන්නේ වසර දෙකක් පුරාවට පැවැත්වෙන තරගාවලියක්.” යැයි කරුණාරත්න අවසන් ලෙස පවසන ලදි.

ශ්‍රී ලංකා – නවසීලන්ත තරග කාල සටහන 2019

  • අගෝස්තු 14 – 18: පළමු ටෙස්ට් තරගය – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය. 
  • අගෝස්තු 22 – 26: දෙවන ටෙස්ට් තරගය – කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණය.  
  • අගෝස්තු 29: විස්සයි විස්ස පුහුණු තරගය – කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය.  
  • සැප්තැම්බර් 01: පළමු විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය.  
  • සැප්තැම්බර් 03: දෙවන විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය. 
  • සැප්තැම්බර් 06 – තුන්වැනි විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය.  

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ හා සජීව තරග අත්දැකීම ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<