Mumbai කණ්ඩායමෙන් නිදහස් කළ මාලිංග ජාත්‍යන්තර ලීග් තරගවලට සමුදෙයි

2880

එදා මෙදාතුර ඉතිහාසය තුල Mumbai Indians කණ්ඩායමේ ප්‍රබලතම පන්දු යවන්නා ලෙස සැලකෙන ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එළඹෙන 2021 වසර සඳහා කණ්ඩායමෙන් නිදහස් කිරීමට Mumbai කණ්ඩායම අද (20) තීරණය කළා. 

ඉන් අනතුරුව Mumbai Indians විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇතුළු සෙසු ජාත්‍යන්තර ලීග් පිටියට සමුදීමට තීරණය කර ඇති බව වාර්තා කළා. 

“ලසිත් මාලිංග අපේ කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙක් විදිහට වසර 12ක් ක්‍රීඩා කළා. අපි ඔහුගේ තීරණයට ගරු කරනවා. අපිට පුළුවන්කමක් තිබුණා නම් ඔහුව තවත් වසර 5ක් අපේ පන්දු බලඇණියේ තියාගන්න අපි කැමතියි. මාලිංග කියන්නේ මුම්බායි පුරාවෘත්තයක්. වන්කඩේ ක්‍රීඩාංගණයේ මාලිංග වෙනුවෙන් ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර අපිට මඟහැරේවි. ඔහු හැමදාමත් මුම්බායි ක්‍රීඩකයන්ගේ, ප්‍රේක්ෂකයන්ගේ සහ අපේ හදවත්වල සිටීවි” Mumbai Indians කණ්ඩායමේ හිමිකරු වන Akash Ambani පවසා තිබුණා.

සිය සමුගැනීම ප්‍රකාශයට පත්කරමින් ලසිත් මාලිංග ද කණ්ඩායම වෙනුවෙන් අදහස් දක්වා තිබුණා. 

“මම මගේ පවුලේ අය එක්ක කතා කළා. මම හිතනවා මේක තමයි හොඳම වෙලාව කියලා ලීග් තරගවලට සමුදෙන්න. මම පසුගිය දවස් කීපය තුල මුම්බායි කළමණාකාරීත්වය එක්ක මේ ගැන කතා කළා. ඔවුන් මගේ තීරණය තේරුම් අරන් මට උපරිම සහයෝගය ලබා දුන්නා. මම මේක අවස්ථාවක් කරගන්නවා මුම්බායි පවුලට ස්තුති කරන්න. Ambani පවුලේ අය, මුම්බායි කණ්ඩායමේ හැමෝටම ගොඩක් ස්තූතියි.”

“ඒ වගේම මම සුබපතනවා Nita Ambani මහත්මියට, මහේල ජයවර්ධනට සහ මුම්බායි පවුලට ඔවුන්ගේ අනාගතය සාර්ථක වෙන්න කියලා.”

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආරම්භයේ සිටම Mumbai Indians නියෝජනය කළ ලසිත් මාලිංග එම කණ්ඩායම වෙනුවෙන් තරග 122ක් ක්‍රීඩා කර තිබෙනවා. එහි දී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 170ක්. ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසය තුල වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් ක්‍රීඩකයා ද වනවා. මුම්බායි කණ්ඩායම ශූරතාව දිනා ගත් සියලු තරගාවලිවල කැපී පෙනෙන දස්කම් දැක්වීමට ඔහු සමත් වුනා. 

කෙසේ වෙතත් පසුගිය වසරේ තරගාවලියට පෙර සිය පියා අසනීප වීම හේතුවෙන් තරගාවලිය සඳහා සහභාගී නොවීමට මාලිංග තීරණය කළා. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2021 වසර සඳහා වන ක්‍රීඩක ලැයිස්තුගත කිරීම අද පැවැත්වුනා. එහි දී ක්‍රීඩකයන් කීපදෙනෙකු වෙන්දේසිය සඳහා නිදහස් කර තිබුණා.

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසියක් එළඹෙන පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට නියමිතයි. මෙලෙස නිදහස් කළ ක්‍රීඩකයන් අතරට ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ද ඇතුළත් වුනා. 

එහි දී සුවිශේෂී නිදහස් කිරීමක් ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඔවුන්ගේ නායකයා වූ ඕස්ට්‍රේලියානු පිතිකරු Steve Smith නිදහස් කිරීම විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ අනුව එළඹෙන වසර සඳහා එම කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරෙන්නේ Sanju Samson හටයි. 

මේ අතර පසුගිය වසරේ දී පළමු වරට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ද සිය කණ්ඩායමෙන් නිදහස් කිරීමට Royal Challengers Bangalore තීරණය කළා. 

ඉසුරු උදාන පසුගිය වසරේ Royal Challengers Bangalore නියෝජනය කරමින් තරග 10කට ක්‍රීඩා කළ අතර එහි දී කඩුලු 8ක් දවා ගැනීමට ඔහු සමත් වුනා.

පසුගිය වසරේ අවසන් පූර්ව වටය දක්වා පැමිණි Royal Challengers Bangalore මෙම වසර සඳහා ක්‍රීඩකයන් රැසක් නිදහස් කිරීමට කටයුතු කර තිබුණා. ඉසුරු උදානට අමතරව Chris Morris, Umesh Yadav, Shivam Dube, Aaron Finch, Dale Steyn, Moeen Ali, Pawan Negi, Parthiv Patel, Gurkeerat Singh Mann ද එලෙස නිදහස් කළ ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත්.

මීට අමතරව Kings XI Panjab නියෝජනය කළ ප්‍රවේගකාරී පිතිකරු Glenn Maxwell ද කණ්ඩායමෙන් නිදහස් කළා. Maxwell පසුගිය වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී අසාර්ථක වූ අතර එය ඔහුගේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ දුර්වලම තරගාවලිය ලෙස ද හැඳින්වුනා.

Kings XI Panjab කණ්ඩායමේ සාමාජිකයන් වූ Sheldon Cottrell, Mujeeb Ur Rahman, Hardus Viljoen, James Neesham, Krishnappa Gowtham සහ Karun Nair එහි දී නිදහස් කර තිබුණා.

තවත් ක්‍රිකට් පුවත්:

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල සාර්ථකම කණ්ඩායමක් ලෙස සැලකෙන Chennai Super Kings කණ්ඩායම ද ක්‍රීඩකයන් කීපදෙනෙකු නිදහස් කර තිබුණා. එයට Harbhajan Singh ද ඇතුළත්. Kedar Jadhav, Murali Vijay, Piyush Chawla සහ Monu Singh නිදහස් කළ සෙසු ක්‍රීඩකයන්. Chennai කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Shane Watson ක්‍රිකට් දිවියට සමුදීම නිසා කණ්ඩායමෙන් ඉවත් වුනා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව 4 වතාවක් දිනා ගත් Mumbai Indians ඔවුන්ගේ ප්‍රබලතම ක්‍රීඩකයා වන ලසිත් මාලිංගට අමතරව James Pattinson, Mitchell McClenaghan, Nathan Coulter-Nile, Sherfane Rutherford, Prince Balwant Rai සහ Digvijay Deshmukh කණ්ඩායමෙන් නිදහස් කිරීමට කටයුතු කළා.

පසුගිය වසරේ අවසන් පූර්ව වටය දක්වා පැමිණි Sunrisers Hyderabad ඔවුන්ගේ සාමාජිකයන් වූ Billy Stanlake, Fabian Allen, Sandeep Sharma සහ Prithvi Raj නිදහස් කිරීමට තීරණය කර තිබුණා. 

Kolkata Knight Riders කණ්ඩායමේ Siddhesh Lad, Nikhil Naik, Manimaran Siddharth සහ Tom Banton නිදහස් කළ ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත්.

පසුගිය වසරේ අනුශූරතාව දිනා ගත් Delhi Capitals නියෝජනය කළ Mohit Sharma, Tushar Deshpande, Keemo Paul, Sandeep Lamichhane, Alex Carey, සහ Jason Roy 2021 වසර සඳහා නිදහස් කිරීමට කණ්ඩායම අද තීරණය කළා. 

Hindustan Times ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<