ගුවන් සිහින කටුගා දමමින් පොලිස් මෙහෙයුම ඉදිරියටම

60

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තවත් එක් තීරණාත්මක සති අන්තයක ආරම්භය සනිටුහන් කරමින් ක්‍රියාත්මක වූ තරගයකින් ජයග්‍රහණය තමන් සතු කරගැනීමට පොලිස් ක්‍රීඩා සමාජය අද (10) සමත් විය. ඒ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 36-15ක් ලෙස පරාජයට පත් කරමිණි.

DRL හයවැනි සතිය: මැතීස් කුසලානය කාටද?

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හයවැනි සතියේ තරග එළඹෙන සිකුරාදා (10) සහ සෙනසුරාදා…..

උණුසුම් කාලගුණ තත්වයක් යටතේ රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ ප්‍රතිඵලය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් වූයේ තරගාවලියේ පළමු අදියර අවසන් වීමට මත්තෙන් තම ස්ථාවරත්වය ගොඩනඟා ගනිමින් ඉහළ මානසිකත්වයකින් යුතුව දෙවන අදියරට අවශ්‍ය අඩිතාලම සකසා ගැනීමටය.

ප්‍රබල CH&FC කණ්ඩායමට අමිහිරි පරාජයක් උරුම කර දුන් පෙරළිකාර පොලිස් කණ්ඩායම තරගාරම්භයේ සිටම ප්‍රවේගකාරී තරග රටාවකට අවතීර්ණ වූයේ ගුවන් හමුදා කණ්ඩායම වෙත දැඩි පීඩනයක් එල්ල කරමිනි.

මෙවර තරග වාරය තුල දී ඉමෝසි වුනිවෝසා සහ සිල්වා සහෝදරයින් දෙදෙනාගේ වේගවත් ධාවනයන් සහ ස්ථානෝචිත පන්දු හුවමාරු පොලිස් කණ්ඩායමේ සාර්ථකත්වය සඳහා බෙහෙවින් බලපෑ අතර ඔවුන් තමන්ට සුපුරුදු රිද්මයට අනුගත වෙමින් ගුවන් ආරක්ෂක වැට අභිබවා යාමට කිහිප විටක දී ම වෑයම් කළේ ළඟ එන උත්සාහක දිනුමක් පිළිබඳ ඉඟියක් ප්‍රේක්ෂකයින් වෙත ලබා දෙමිනි.

එතෙර විනිසුරුගේ සේවාව තවදුරටත්!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතියේ පැවති පොලිස් – CH&FC සහ CR&FC හා මහනුවර……

අනාවැකිය සැබෑවක් කරමින් කණ්ඩායම් එකමුතුවෙන් වාර්තා කළ අලංකාර උත්සාහක දිනුමකින් පොලිස් කණ්ඩායම ලකුණු පුවරුව පණගැන්වූයේ ඉමෝසි වුනිවෝසාගේ පෞද්ගලික උත්සාහක දිනුම් ගොන්නට තවත් ලකුණු පහේ අවස්ථාවක් එකතු කරමිනි. නලින් කුමාර අමතර ලකුණු එක්කිරීම නිසියාකාරව සිදු කළේය. (පොලිස් 07 – 00 ගුවන්)

25 වැනි මිනිත්තුවේ දී පොලිස් ප්‍රොප් ක්‍රීඩක ලහිරු පවිත්‍ර විසින් ගුවන් හමුදා ක්‍රීඩකයෙකු අනතුරුදායක ලෙස ගුවනේ සිට බිම හෙළීම නිසාවෙන් ඔහුට කහ කාඩ්පතකින් දඬුවම් කිරීමට විනිසුරු ඉෂංක අබේකෝන් මහතා තීරණය කළේය.

පොලිස් කණ්ඩායමේ පිරිස් බලය 14 දක්වා අඩු වූ නමුත් ඉන් නිසි ඵල නොලා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයින් අපොහොසත් වූයේ ඔවුන් වෙත පන්දුවේ පාලනය ලැබුණු අවස්ථාවන් කිහිපයක්ම පොලිස් කණ්ඩායම වෙත නිකරුණේ පූජා කරමිනි.

Line-out අවස්ථාවන්හීදී දෙපිලේම ක්‍රීඩකයින් පෙන්වූ දුර්වලතා මෙහි දී වඩාත් කැපී පෙනුණු අතර විශේෂයෙන්ම පොලිස් කණ්ඩායමේ ප්‍රබලතම අවියක් ලෙසින් පසුගිය තරග කිහිපයේදීම භාවිතා කළ මෙම Line-out අවස්ථාවන්ගෙන් හරියාකාර ප්‍රයෝජනයක් ගැනීමට ලහිරු පවිත්‍ර ඇතුළු පොලිස් ඉදිරිපෙළ අද දිනයේ දී අසමත් විය.

පළමු අර්ධය – පොලිස් ක්‍රීඩා සමාජය 07 (1T,1C) – 00 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

දීර්ඝ නිහැඬියාවකින් අනතුරුව තම ලකුණු ඉඩෝරයට තිත තැබූ ගුවන් භටයින් සෂික ප්‍රනාන්දුගේ සහයෝගයෙන් ධවල රේඛාව අභිබවා ගියේ තරගය දෙපිලටම විවෘත කරදෙමිනි. (පොලිස් 07 – 05 ගුවන්)

පොලිස් කණ්ඩායම නියෝජනය කරන අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන හිටපු නායක උදාර සුරියප්පෙරුම  තමන් සතු හැකියා දක්ෂතාවන් නැවත වතාවක් කරළියට ගෙන එමින් ගුවන් ආරක්ෂක වැට සුනු විසුනු කරදැමුවේ පොලිස් කණ්ඩායමෙන් ඉදිරි කාලසීමව තුල දී එල්ල විය හැකි තර්ජනයන් පිළිබඳ ප්‍රතිවාදීන් වෙත රතු එළියක් ද දල්වාලමිනි. ප්‍රවර්තනයේ ලකුණු ද්විත්වය එක් කිරීමේ අවස්ථාව එවර නලින් කුමාර අතින් ගිලිහී ගියේය. (පොලිස් 12 – 05 ගුවන්)

2020 ආසියාවේ දී ශ්‍රී ලංකාවට අභියෝගයක්!

ශ්‍රී ලංකාවට 2019 වසර ආසියානු මට්ටමේ තරගාවලිවල දී එතරම් සුබදායී වසරක් නොවුනත් ප්‍රීතිමත් නව වසරකට මංපෙත්…..

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ සිල්වා සහෝදර හවුල, වුනිවෝසා සහ ජනිත් චානක සමඟ එක්ව කෙටි කාලසීමාවක් තුල දී පිටපිට උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කළේ පොලිස් කණ්ඩායමේ දෑතට තරගයේ සුක්කානම හිමිකර දෙමිනි. සචිත් සිල්වා උත්සාහක දිනුම් ද්විත්වයේ හිමිකරුවා බවට පත්වද්දී, නලින් කුමාර ලැබුණු අසීරු ප්‍රවර්තනයන් සාර්ථකව ලකුණු බවට පරිවර්තනය කිරීමට සමත්කම් දැක්විය. (පොලිස් 26 – 05 ගුවන්)

ගෝල කණු ඉදිරියෙන් ලැබුණු පහසු දඬුවම් පහර අවස්ථාවක් ද සාර්ථක කර ගත් නලින් කුමාර පොලිස් ලකුණු පුවරුව තවදුරටත් පෝෂණය කරද්දී, 70 වැනි මිනිත්තුවේ දී ගුවන් ක්‍රීඩක සෂික ප්‍රනාන්දු දිනයේ දෙවන වතාවටත් උත්සාහක දිනුම් රේඛාව පසුකොට දිව ගියේ තම කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය  පිළිබඳ යම් හෝ බලාපොරොත්තුවක් ගොඩනඟා දෙමිනි. (පොලිස් 29 – 10 ගුවන්)

බොහෝ වේලාවක සිට පොලිස් කණ්ඩායම දෙසට දෝලනය වූ තරගයේ ජයග්‍රහණය ස්ථිර වශයෙන්ම ඔවුන් සනාථ කරගත්තේ විහඟ පිවිතුරු විසින් වාර්තා කළ පහසු ප්‍රවර්තිත උත්සාහක දිනුමත් සමඟිනි. තරගයේ තීරණයට බලපෑමක් එල්ල කිරීමට ප්‍රමාද වූවත්  නොසැලී ඉදි‍රියට ඇඳුණු ගුවන් ක්‍රීඩකයින් මීටර් 5 රේඛාව ඉදිරියෙන් ලැබුණු line-out අවස්ථාවකින් උත්සාහක දිනුමක් වාර්තා කළේ ෆාරිස් අලීගේ දායකත්වය උපයෝගී කරගනිමිනි. (පොලිස් 36 – 15 ගුවන්)

අවසන් ලකුණු තත්වය: පොලිස් ක්‍රීඩා සමාජය 36 (5T,4C,1P) – 15 (3T) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

  • ThePapare.com තරගයේ වීරයා – සචිත් සිල්වා (පොලිස් ක්‍රීඩා සමාජය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • පොලිස් ක්‍රීඩා සමාජය – ඉමෝසි වුනිවෝසා (1T), උදාර සුරියප්පෙරුම (1T), සචිත් සිල්වා (2T), විහඟ පිවිතුරු (1T) නලින් කුමාර (4C,1P)
  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – සෂික ප්‍රනාන්දු (2T), ෆාරිස් අලී (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<