ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායකත්වය ධනංජයට

ඕස්ට්‍රේලියානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

642

සංචාරක ඕස්ට්‍රේලියානු A කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාට හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා ජාතික සංචිතය නියෝජනය කරන අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන ධනංජය ජාතික කණ්ඩායමේ උපනායකයා ලෙස ද කටයුතු කළ අතර ඔහුගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

පසුගිය මාස කිහිපයේ පැවති ජාතික සුපර් ලීග් තරගාවලිය, අන්තර් සමාජ නැගී එන තරගාවලිය සහ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ දී දස්කම් දැක්වූ යොවුන් සහ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින්ට මෙම සංචිතයේ ඉඩක් වෙන්ව තිබෙනවා.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් වන නිරෝෂන් දික්වැල්ල සහ ඕෂධ ප්‍රනාන්දු ද මෙම 15 දෙනා අතරට එක්කර තිබෙන අතර ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියට පෙර ඔවුන්ව සුපුරුදු රිද්මයට ගෙන ඒම එහි අරමුණයි.

ශ්‍රී ලංකා A කණ්ඩායම (එක්දින): ධනංජය ද සිල්වා (නායක), කමිඳු මෙන්ඩිස්, ළහිරු උදාර,අශේන් බණ්ඩාර, ලසිත් කෲස්පුල්ලේ, නිරෝෂන් දික්වැල්ල, ඕෂධ ප්‍රනාන්දු, සහන් ආරච්චිගේ, දුනිත් වෙල්ලාලගේ, ධනංජය ලක්ෂාන්, ඩිල්ෂාන් මධුශංක, නිසල තාරක, ප්‍රමෝද් මධුශාන්,අශේන් ඩැනියල්, පුලින තරංග.

මෙම තරගාවලියේ එක්දින තරග ද්විතවය ජුනි 08 සහ 10 කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වීමට නියමිත අතර සිව්දින තරග ජුනි 14 සහ 21 හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

  • පළමු එක්දින තරගය – ජුනි 8 – SSC (Live)
  • දෙවැනි එක්දින තරගය – ජුනි 10 – SSC (Live)
  • පළමු සිව්දින තරගය – ජුනි 14 සිට 17 දක්වා – මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය
  • දෙවැනි සිව්දින තරගය – ජුනි 21 සිට 24 දක්වා – මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය

මෙම තරගාවලිය සජීවීව ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<