ස්කොට්ලන්තය හමුවේ ශ්‍රී ලංකාව පරාජය වෙයි

309

බොස්ට්වානා හි ගැබොරෝන් නුවර දී අද (08) ආරම්භ වූ 8 වන ලෝක යොවුන් දැල්පන්දු කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති අතර එම තරගය ලකුණු 69-48ක් වශයෙන් ජයග්‍රහණය කරන්නට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් විය.   

යොවුන් දැල්පන්දු ලෝක කුසලානයට ශ්‍රී ලංකාව සූදානමින්

අර්බුදකාරී මාස 3ක කාලයකින් අනතුරුව ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම 8 වන වරටත් පැවැත්වීමට නියමිත …

තරගයේ පළමු වටයේ දී කණ්ඩායම් දෙකම හොඳින් තරගයට අවතීර්ණ විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ GS ස්ථානයේ ක්‍රීඩා කරන මෙලනි විජේසිංහ සහ GA ස්ථානයේ ක්‍රීඩා කරන කවීණා රාජපක්ෂගේ සුසංයෝගය පළමු වටයේ දී කැපී පෙනෙන දස්කම් ප්‍රදර්ශනය කරන්නට සමත් විය. එහි දී ඔවුන් දෙදෙනාගේ උස ස්කොට්ලන්ත කණ්ඩායමට දැඩි අභියෝගයක් විය. කෙසේ නමුත් තරගකාරී පළමු වටයකින් අනතුරුව ලකුණු 17-14ක් වශයෙන් පළමු වටය අවසානයේ දී තරගයේ පෙරමුණ ගන්නට ප්‍රබල ස්කොට්ලන්ත කණ්ඩායම සමත් විය.

තරගයේ දෙවන වටයට ප්‍රබල ආරම්භයක් ලබා ගත් ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන් දෙවන වටය ආරම්භයේ දී ලකුණු 5-0ක පරතරයක් ගොඩනඟා ගැනීමට සමත් වූ අතර ඒ අනුව තරගයේ ලකුණු සටහන ලකුණු 26-17ක් ලෙස ඉහළ නංවා ගැනීමට සමත් විය.

ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළට දැඩි අභියෝගයක් එල්ල කළ අතර අත්දැකීම්වලින් අඩු ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ සිටි අත්දැකීම් සහිත එකම ක්‍රීඩිකාව වූයේ සචිනි රොද්‍රිගු ය. ඒ අනුව තරගයේ පළමු අර්ධය අවසානයේ ලකුණු 11ක පරතරයක් ගොඩනඟා ගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් විය.

පළමු අර්ධය: ස්කොට්ලන්තය 33 – 22 ශ්‍රී ලංකාව

තරගයේ තෙවන වටය ආරම්භයේ දී ලකුණු පරතරය ලකුණු 13ක් දක්වා ඉහළ ගිය නමුත් එය නැවත ලකුණු 10ක් දක්වා අඩු කර ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය. එහි ලකුණු තත්වය ලකුණු 39-29ක් ලෙස දැක්විය. අනතුරුව නැවතත් තරගයට අවතීර්ණ වෙමින් ලකුණු තත්වය ලකුණු 41-33ක් දක්වා ගෙන එන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ නමුත් තමන්ගේ සුපුරුදු ක්‍රීඩා රටාවට නැවතත් අවතීර්ණ වූ ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන් එය ලකුණු 46-33ක් දක්වා ඉහළ නංවා ගන්නට සමත් විය. ඒ අනුව තරගයේ තෙවන වටය නිමාවට පත්වූයේ නැවතත් ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන් ලකුණු 47-37ක් වශයෙන් පෙරමුණේ රැඳෙමිනි.

තරගයේ දෙවන වටයේ දී මෙන් හතරවන වටයේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායම අසාර්ථක වූ අතර එම වටය ආරම්භයේ දී ලකුණු 10-3ක් වශයෙන් රැස්කරගත් ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන් ලකුණු 57-40ක් ලෙස තරගයේ පෙරමුණේ රැඳෙන්නට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ සිදු වූ අතපසුවීම් හේතුවෙන් ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන් හට අභියෝගයක් එල්ල නොවූ නමුත් ලකුණු පරතරය නැවතත් ලකුණු 16ක් දක්වා අඩු කර ගන්නට ඔවුන් සමත් විය. කෙසේ නමුත් නැවතත් හතරවට වටය අවසානයේ දී ලකුණු 8-1ක් වශයෙන් රැස්කරගත් ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන් තරගය ජයග්‍රහණය කරන්නට සමත් විය.

දෙවන අර්ධය: ස්කොට්ලන්තය 69 – 48 ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරගාවලිය තුළ සහභාගී වන මීළඟ තරගය උතුරු අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව මෙම මස 9 වන දින ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 3.30 ට පැවැත්වීමට නියමිතයි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<