“මට ඒක කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තිබ්බා”

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

446
Rinku Singh

IPL තරග ඉතිහාසයේ සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කරමින් Gujarat Titans කණ්ඩායමට එරෙහි තරගයෙන් Kolkata Knight Riders කණ්ඩායමට කඩුලු තුනක ජයක් දිනා දීමට Rinku Singh විශාල මෙහෙවරක් ඉටු කළා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඔහු පන්දු 21ක් තුළ ලකුණු 48ක් ලබා ගැනීමට සමත් වූ අතර අවසාන පන්දු 5 තුළ ලකුණු 28ක් අවශ්‍ය වූ මොහොතේ නොකඩවා හයේ පහර පහක් එල්ල කරමින් සිය කණ්ඩායමට නොසිතූ ජයක් ගෙන ඒමට ඔහුට හැකි වුනා.

එම ජයග්‍රහණත් සමඟ තරග තුනක් ක්‍රීඩා කර දෙකක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පැමිණීමට Kolkata Knight Riders කණ්ඩායමට හැකි වීම විශේෂත්වයක්.

“මට විශ්වාසයක් තිබ්බා ඒක මට කරන්න පුළුවන් කියලා. Nitish Rana (කණ්ඩායම් නායකයා) කිව්වා මට අවසානය වෙනකම් අතහරින්න එපා, අපි සටන් කරලා බලමු මොකක්ද වෙන්නේ කියලා.

මම අවසන් පන්දුවාරයේ හයේ පහරවල් එල්ල කරන්න උත්සහ කරද්දී, Umesh (Umesh Yadav) කිව්වා වැඩිය හිතන්නේ නැතුව පහර දෙන්න කියලා. ඒ නිසා මම නිකන් එන බෝලෙට පහර දුන්නා විතරයි,” යැයි Rinku Singh ප්‍රකාශ කර තිබුණා.

මෙම අගනා ඉනිම පිළිබඳ අදහස් දක්වමින් Kolkata Knight Riders ක්‍රීඩක Venkatesh Iyer ප්‍රකාශ කළේ,

“මෙම තරගය මතක් වෙන්නේ Rinkuගේ සංදර්ශනය ලෙසයි. අවසන් පන්දුවාර දෙක වෙද්දී හැමෝම තරගය අතහැරලා හිටියේ. නැවත පැමිණිලා ජයග්‍රහණය කරන එක වෙන දෙයක් නෙවෙයි කියලා මම දැනගෙන හිටියා.

Rashid Khanගේ කඩුලු ත්‍රිත්වයත් එක්ක අපේ පිතිකරුවන් සියල්ල දැවී ගිහින් හිටියේ. ඒ නිසා ඇත්තෙන්ම මමත් හිතුවේ අපිට මේක කොහොමත් දිනන්න බැහැ කියලා. පිතිකරුවන් නොමැතිව පන්දුවාර 3ක් තුල ලකුණු 45ක් ලබා ගන්න ලේසියෙන් කරන්න බැරි දෙයක්.

මම හිතුවේ නෑ ඒක කිසිම වෙලාවක වෙයි කියලා. අපි දැනගෙන හිටියා Yash තමයි අන්තිම පන්දුවාරය යවන්නේ කියලා. දෙවැනි හයේ පහර එල්ල කරද්දී අපි දැන ගත්තා මේක දිනා

ගන්න පුළුවෙන් වෙයි කියලා. හොඳ හදවත් තියෙන මිනිස්සුන්ට දෙවියන් සෑම විටම අවස්ථා ලබා දෙනවා, Rinku කියන්නෙත් ඒ වගේ කෙනෙක්. මම ගොඩක් සතුටු වෙනවා දෙවියන් ඔහුට මේ අවස්ථාව ලබා දුන්න එක ගැන.”

මෙවර IPL තරගාවලියේ සියලු තරග සජීව ලෙස ඔබ වෙත ThePapare.com ඔස්සේ නැරඹිය හැකි. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<