පාසල් රග්බි සඳහා පැනවූ තාවකාලික තහනම ඉවතට

1448

සිංගර් කුසලාන පාසල් රග්බි තරගාවලියේ පසුගිය සති අන්තයේ දී ඇති වූ මතභේදාත්මක සිදුවීම් රැසක් හේතුවෙන් පාසල් රග්බි තරග නැවත දැනුම් දෙන තුරු කල් දැමීමට ගෙන තිබූ තීරණය ඉවත් කිරීමට පලාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද (25) තීරණය කරන ලදි.

පාසල් රග්බි තරග දින නියමයකින් තොරව කල් යයි

පසුගිය සති අන්තයේ දී පාසල් රග්බි පිටියේ ඇති වූ මතභේදාත්මක සිදුවීම් රැසක් හේතුවෙන්.

රග්බි ක්‍රීඩාව හා සම්බන්ධ සියලුම පාසල්වල නිලධාරීන්, පාසල් රග්බි සංගමයේ නිලධාරීන්, ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්  ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී අද (25) විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විය.

එම තීරණය ගැනීමට ප්‍රථම සියලුම නිලධාරීන් හා පැමිණ සිටි විදුහල්පතිවරුන්, රග්බි ක්‍රීඩාව භාර අචාර්යවරුන්, රග්බි විනිසුරුවරුන් ඇතුළු සියලුම විද්වතුන්ගේ අදහස් හා එම අවස්ථාවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කර එහි දී සිදු වූ යෝජනා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව අමාත්‍යතුමා මේ තීරණය ගනු ලැබීය.

එම නිසා දින නියමයක් නොමැතිව කල්දැමුණු පාසල් රග්බි තරගාවලියේ කුසලාන හා පලඟ තරග ලබන සති අන්තයේ සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අනුමැතිය ලැබුණි.

තරග සඳහා ලබා දෙන ආරක්ෂාව තව තවත් තර කරන ලෙස එම අවස්ථාවට පැමිණ සිටි සියලුම නිලධාරීන්ගේ ඒකමතික මතය වූ අතර තරගාවලිය පවත්වන ව්‍යුහයත් ඉදිරියේ දී වෙනස් කිරීමට හැකි නම්, පාසල් රග්බි තරග අතරතුර ඇතිවෙන මේ උණුසුම්කාරී තත්වයන් පාලනය කර ගැනීමට එය ඉවහල් වනු ඇති බව ඔවුන්ගේ මතය විය.

එසේම තරගයේ දී සත්කාරකත්වය දරණ පාසලට තරගයේ ආරක්ෂාව පිළිබඳව වැඩි වගකීමක් පැවරෙන අතර ප්‍රේක්ෂකයින්ගේ නොමනා හැසිරීම් පාලනය කිරීමේ වගකීම ද ඒ ඒ රග්බි තරගවල සත්කාරකත්වය දරනු ලබන පාසල විසින් ලබාගත යුතු බවට එහි දී වැඩි දෙනාගේ මතය බවට පත්විය. එසේම මත්පැන් පානය කර තරග නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින් තරගය තුළට ඇතුලත් කර නොගැනීම, තරග පවතින ක්‍රීඩාංගණවල සුරා සැල් පාසල් රග්බි තරග පවතින කාලය තුළ වසා දැමීම යන යෝජනා කිහිපයක් ද ඉදිරිපත් වූ අතර ඒ සඳහා අමාත්‍යතුමා කිසිදු පැකිලීමකින් තොරව සිය එකඟත්වය පළකළේය.

වෙස්ලි ක්‍රීඩකයෝ අපරාජිත රාජකීයයන් බියගන්වති

CR & FC ක්‍රීඩාංගණය මිනිත්තු හැත්තෑවකට කම්පනය කරමින් සිංගර් අන්තර් පාසල් ලීග්..

යම් යම් පාසල් කිහිපයක් පාසල් රග්බි කුසලාන තරගාවලියේ තීරණය ලබා දෙන අවසන් තරග කිහිපයකට ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සහය ලබා ගැනීමට කටයුතු කරන ලෙස යම් යෝජනාවක් පාසල් රග්බි සම්මේලනය වෙත යොමු වුවත් ඒ අවස්ථාවට පැමිණ සිටි බොහෝ දෙනෙක්  ඒ මතය තරයේම ප්‍රතික්ෂේප කරන ලදි.

ශ්‍රී ලංකා රග්බි විනිසුරුවරුන්ගේ සම්මේලනයේ සභාපති වන නිසාම් ජාමල්ඩීන් මහතා පැවසුවේ එමගින් අපේ රටේ රග්බි විනිසුරුවරුන් පිළිබඳව තිබෙන ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසාදය අඩුවන බවයි.

ඉදිරියේ දී පැවැත්වෙන පාසල් රග්බි තරග අතරතුර යම් කලහකාරී සිදුවීමක් සිදුවුවහොත් නීතිය තදින්ම දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යතුමා පොලිසියෙන් මෙහි දී විශේෂ ඉල්ලීමක් ද සිදු කරන ලදි.

මෙහි වැඩිදුර තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟ රැඳී සිටින්න.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<