ශ්‍රී ලංකාව දැවැන්ත ජයකින් තරගාවලිය ආරම්භ කරයි

388
CRICKET-ZIM-SRI-ODI

ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් වල සහභාගිත්වයෙන් පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ ආරම්භක දිනය වූයේ අදයි (14). එහිදී සත්කාරකයින් සමඟ තරග වැදුනු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එතරම් අපහසුවකින් තොරව තම ප්‍රථම අභියෝගය නිමා කිරීමට සමත් විය. මේ දිනවල ශ්‍රී ලංකා කණ්ඩායම සතු විශ්වාසනීය පිතිකරුවාගේ භූමිකාව මැනවින් නිරූපණය කරන ධනංජය සිල්වා එම ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.

පසුගිය ලිපි: එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කාන්තාවෝ අදත් අසරණ වෙයි

හරාරේ පිටියේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට ප්‍රථම වරට නායකත්වයේ වගකීම උසුලන උපුල් තරංග සමත් විය. ඒ අනුව පන්දු යවන්නන්ට යම් තරමක සහයෝගයක් දක්වන බව පෙනෙන්නට තිබූ තණතීරුවේදී ඔහුගේ තීරණය වූයේ ප්‍රථමයෙන් පන්දු යැවීමයි. එම තීරණයට නිසි වටිනාකමක් ලබා දුන් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සිම්බාබ්වේ පිතිකරුවන් ලකුණු 154කට සීමා කළහ.

තරගය ආරම්භයේ සිටම ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් සිම්බාබ්වේ පිතිකරුවන් දැඩි පීඩනයකට හසු කරන්නට උත්සාහ දැරූ අතර එහි ප්‍රතිඵලය වූයේ ඉනිම පුරාවට සිම්බාබ්වේ පිළේ කඩුලු එකිනෙක බිඳ වැටීමයි. ප්‍රථම ඉනිමේ පන්දුවාර 17ක් පමණ ගතවන විට සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 50කට කඩුලු 6ක් දැවී දැඩි අසීරු තත්වයක පසු වූ අතර ඒ වන විට ඔවුන් ලකුණු 100 සීමාවටවත් ලඟා නොවන බවට පෙරනිමිති පහළ වී තිබුනි.

නමුත් සිම්බාබ්වේ පිළේ ගෞරවය යම් තරමකට ආරක්ෂා කර දුන් කඩුලු රකින ක්‍රීඩක පීටර් මුවර් සහ නායක ග්‍රැහැම් ක්‍රීමර් හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 55ක් එක් කිරීමට සමත් විය. සිම්බාබ්වේ පිළ වෙනුවෙන් අද දිනයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ පීටර් මුවර් හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 47ක් ලබා සිටියදී නුවන් කුලසේකරගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු විය. නායක ග්‍රැහැම් ක්‍රීමර් ලකුණු 31යි. ඒ හැරුණු විට සිම්බාබ්වේ පිළේ අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාවටවත් ලඟා වන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ තැබුවේ නැත. ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථකම පන්දු යවන්නා වූ අසේල ගුණරත්න ලකුණු 21කට කඩුලු 3ක් බිඳ හෙලීය. අද ඔහු ක්‍රීඩා කලේ සිය මංගල එක්දින තරගයට වීමද විශේෂත්වයකි. ඒ හැරුණු කොට නුවන් කුලසේකර, සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

ලකුණු 155ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් එම ඉලක්කය සපුරා ගැනීම සඳහා වැය කලේ පන්දුවාර 24යි පන්දු 3ක් පමණි. ආරම්භක පිතිකරු කුසල් පෙරේරා හතරේ පහර 4ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තද, චිබාබාගේ පන්දුවක් හමුවේ ඔහුගේ ඉනිම නිමා විය. ඉන් අනතුරුව දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 84ක සබඳතාවයක් පැවැත්වූ ධනංජය සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය පෙනෙන තෙක් මානය දක්වා රැගෙන ඒමට සමත් විය.

එම සබඳතාවය නිමා වන්නේ හතරේ පහර 6ක් සමඟින් ලකුණු 38ක් ලබා සිටි නිරෝෂන් දික්වැල්ල ලකුණු 41කට පිටියෙන් ඉවත් වීමත් සමඟයි. ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිස තරගය අවසන් වන තුරුම තම කඩුල්ල ආරක්ෂා කරගත් ධනංජය සිල්වා හතරේ පහර 12ක් සමඟ ලකුණු 78ක් වාර්තා කලේය. කිසිදු පීඩනයකින් තොරව පන්දුවට පහර දෙමින් තමන්ට රිසිසේ ලකුණු රැස්කල ධනංජයගේ ඉනිමේ යොවුන් පිතිකරුවන්ට ඉගෙන ගත හැකි බොහෝ දෑ ගැබ්වී තිබුනි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 8ක පහසු ජයක් හිමිවූ අතර තරගයේ වීරයා සම්මානය දකුණත් පිතිකරු ධනංජය සිල්වාට හිමි විය. මෙම තුන්කොන් තරගාවලියේ මීළඟ තරගය ලබන 16 වැනිදා ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර හරාරේ හිදීම පැවැත්වේ. කණ්ඩායම් දෙකම නවක මුහුණ රැසකින් යුතු කණ්ඩායම් දෙකක් වන නිසා මෙම තරගය අතිශයින්ම උණුසුම් වීමට ඉඩ ඇත.

සිම්බාබ්වේ – සියල්ලන්ම දැවී ලකුණු 154 (පන්දුවාර 41.3): පීටර් මුවර් 47, ග්‍රැහැම් ක්‍රීමර් 31* ඩොනල්ඩ් තිරිපානෝ 19, අසේල ගුණරත්න 3/21, සුරංග ලක්මාල් 2/19, නුවන් ප්‍රදීප් 2/21, නුවන් කුලසේකර 2/23.

ශ්‍රී ලංකා – කඩුලු 2ක් දැවී ලකුණු 155 (පන්දුවාර 24.3): ධනංජය සිල්වා 78*, නිරෝෂන් දික්වැල්ල 41, කුසල් ජනිත් පෙරේරා 21, කුසල් මෙන්ඩිස් 12*, ටිනාශි පන්‍යන්ගාරා 1/37, චමුනෝර්වා චිබාබා 1/18.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට