ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමට එංගලන්ත සංචාරයක්

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022

770

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම එළඹෙන මැයි මාසයේ දී එංගලන්තයේ තරග සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (26) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා.

එම සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිව්දින තරග 3කට සහ විස්සයි විස්ස තරග 3කට සහභාගී වීමට නියමිතයි. මැයි පළමු වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම එරටට ළගා වීමට නියමිත බව ද ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

මෙම තරග සංචාරය සිව්දින තරගාවලියෙන් ආරම්භ වන අතර විස්සයි විස්ස තරග 3 ඉන් අනතුරුව පැවැත්වීමට නියමිතව තිබෙනවා. නැගී එන ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාවක් සලසා දීම මෙම සංචාරයේ ප්‍රධානතම අරමුණයි.

සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතය මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නොමැති නමුත් ThePapare.com වෙත ලැබුණු විශ්වාසදායී ආරංචි මාර්ගවලට අනුව කමිඳු මෙන්ඩිස් කණ්ඩායමේ නායකත්වය දැරීමට නියමිත බව වාර්තා වෙනවා.

ඊට අමතරව නිමාවුණු නැගී එන අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ දී සහ නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලි වලදී දස්කම් දැක්වූ නැගී එන ක්‍රීඩකයින් හට මේ තරග සංචාරයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වැඩි අවස්ථාවක් ලැබෙනු ඇත.

අදාළ සංචාරයේ පළමු සිව්දින තරගය ලබන 6 වැනිදා සිට Kent හි Canterbury ක්‍රීඩාංගණයේ දී ද, දෙවැනි සිව්දින තරගය ලබන 13 වැනිදා සිට Hampshire හි Ageas Bowl ක්‍රීඩාංගණයේ දී ද, තෙවැනි සිව්දින තරගය ලබන 20 වැනිදා සිට Surrey හි Guildford CC ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙනවා.

මැයි 25, 27 හා 29 යන දිනවල දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරග තුන පිළිවෙළින් Surrey – Kia Oval, Somerset – The Cooper ACG සහ Gloucestershire හි Bristol County යන ක්‍රීඩාංගණවල දී පැවැත්වෙනු ඇත.

තරගාවලියේ සම්පූර්ණ තරග කාලසටහන

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<