කොරෝනාවලට පසුව පළමු දේශීය ශතකය පොඩි කුසල්ගෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රිමියර් ලීග් Tier ‘A’ 2020

1614

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රිකට් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අද (10) කොරෝනා වසංගත තත්වය තරමක් පාලනය වූ පසුබිමක නැවතත් ආරම්භ වූයේ මාස 5කට පසුවයි. තරග සියල්ලම සියලු සෞඛ්‍ය උපදෙස් සහ ICCයේ නව රෙගුලාසිවලට අනුව පැවැත්වීමට තරග සංවිධායකයින් කටයුතු කර ඇත.

>>ස්ටෝක්ස්ට පාකිස්තාන තරගාවලිය අහිමි වෙයි<<

සාමාන්‍යයෙන් සුපිරි අට වටයේ තරගයක් දවස් 4ක් ක්‍රීඩා කරන නමුත් මාස 5ක කාලයක් තිස්සේ තරගාවලිය නැවත දැමීමට සිදු වූ නිසා මෙම වසරේ සුපිරි 8 වටයේ තරගයක් දින තුනකට සීමා විය. ඒ ඉදිරි තරග කාලසටහන නිසි පරිදි කළමනාකරණය කර ගත යුතුව තිබෙන නිසාවෙනි.

ඒ අනුව තරගාවලිය හරහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් නැවතත් දේශීය ක්‍රිකට් පිටියට අවතීර්ණ වී ඇති නිසා තරගාවලියේ උණුසුම  සහ තරගකාරීත්වය වැඩි වී ඇති අතර ඇන්ජලෝ මැතිව්ස් වසර 7කට පසුව නැවතත් පළමු පෙළ දේශීය ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීම ඒ සඳහා ඇති හොඳම නිදසුනකි.

සුපිරි අට වටයේ තරග

තරගාවලියේ මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව සී. සී. සී, කෝල්ට්ස්, යුද හමුදා, සහ බී. ආර්. සී කණ්ඩායම් A කාණ්ඩයෙන් ද, හලාවත මේරියන්ස්, එන්. සී. සී, සැරසන්ස් සහ රාගම යන කණ්ඩායම් B කාණ්ඩයෙන් ද සුපිරි අට වටය සඳහා සුදුසුකම් ලබාගෙන තිබුණි.

සී. සී. සී කණ්ඩායම් නායක කුසල් මෙන්ඩිස් මාස 5කට පසුව ආරම්භ වූ දේශීය ක්‍රිකට් තරග පිටියේ නිහැඬියාව බිඳ දමමින් පළමු ශතකය වාර්තා කළේ පළමු දිනය අවසානයේ නොදැවී පිතිකරණයේ නිරත වෙමිනි. ඒ රාගම ක්‍රිකට් සමාජයට එරෙහිවයි. 

ඊට අමතරව කඩුලු රකින පිතිකරු මිනෝද් භානුක පන්දු 93ක් තුල ලකුණු 88ක් ලබා ගනිමින් දස්කම් දක්වන ලදි. තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන සී. සී. සී කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 353ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල තැනක සිටියි.

යුද හමුදා ක්‍රීඩා සමාජය සහ එන්. සී. සී ක්‍රීඩා සමාජය අතර පැවති තරගයේ දී යුද හමුදා නායක අසේල ගුණරත්න අර්ධ ශතකයක් ලබා ගනිමින් ඔවුන්ගේ කණ්ඩායම් ලකුණු සටහන වර්ධනය කළේය. එන්. සී. සී කණ්ඩායම මේ තරගය සඳහා ලහිරු කුමාර, චාමික කරුණාරත්න සහ චතුරංග ද සිල්වා වැනි ජාත්‍යන්තර තලය නියෝජනය කරනු ලබන පන්දු යවන්නන් ක්‍රීඩා කරවූ නමුත් පළමු දිනය අවසානයේ එන්. සී. සී කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු දවා ගත්තේ වමතින් වේගපන්දු යවන දිලේෂ් ගුණරත්නයි (කඩුලු 4).

>>ෂෙවාග්, යුස්වේන්ද්‍රට හිනාවෙයි<<

කෝල්ට්ස් – සැරසන්ස් තරගයේ පළමු දිනය තුල අර්ධ ශතක 3ක් වාර්තා වූ අතර ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 80*ක් ලබා ගන්නා විට අවිශ්ක ප්‍රනාන්දු (ලකුණු 66) සහ සන්තුෂ් ගුණතිලක (ලකුණු 60*) කෝල්ට්ස් පළමු ඉනිම වෙනුවෙන් අර්ධ ශතක ලබා ගත්තේය. පළමු දිනය නිමා වෙන විට කෝල්ට්ස් කණ්ඩායම තරගයේ වැඩි ගෞරවය දිනා සිටියේ කඩුලු 2ක් දැවී ලකුණු 256ක් වාර්තා කරගෙනයි.

කොළඹ සී. සී. සී පිටියේ පැවති හලාවත මේරියන්ස් සහ බී. ආර්. සී තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් මේරියන්ස් පළමු ඉනිම ලකුණු 195කට සීමා කිරීමට භානුක රාජපක්ෂ, හශේන් රාමනායක සහ දුවිඳු තිලකරත්න ඇතුළු පන්දු යවන්නෝ සමත් වූයේ කඩුලු 3 බැගින් දවා ගනිමිනි. කෙසේ නමුත් මේරියන්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඕශධ ප්‍රනාන්දු ලකුණු 40ක් ලබා ගත්තේය. ඊට පිළිතුරු ඉනිම දියත් කරන බී. ආර්. සී කණ්ඩායම පළමු දිනය අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 67ක් වාර්තා කරගන්නා ලදි.

සී. සී. සී සහ රාගම ක්‍රීඩා සමාජය

සී. සී. සී පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 353/4 (86): කුසල් මෙන්ඩිස් 132*, මිනෝද් භානුක 88, අශාන් ප්‍රියන්ජන් 58, වනිඳු හසරංග 51*

හලාවත මේරියන්ස් සහ බී. ආර්. සී

හලාවත මේරියන්ස් පළමු ඉනිම – 195 (47.2): ඕශධ ප්‍රනාන්දු 42, පුලින තරංග 40, හානුක රාජපක්ෂ 3/26, හශේන් රාමනායක 3/26, දුවිඳු තිලකරත්න 3/54.

බී. ආර්. සී පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 67/5 (23):

Photos: BRC vs Chilaw Marians CC | Premier Super 8s Tournament

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය

කෝල්ට්ස් පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 256/2 (81): ඇන්ජලෝ මැතිව්ස් 80*, අවිශ්ක ප්‍රනාන්දු 66, සන්තුෂ් ගුණතිලක 60*, කසුන් රාජිත 2/65.

Photos: Colts CC v Saracens SC – Premier Super 8s Tournament

යුද හමුදා ක්‍රීඩා සමාජය සහ එන්. සී. සී ක්‍රීඩා සමාජය

යුද හමුදා පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 236/9 (72): අසේල ගුණරත්න 50, හිමාෂ ලියනගේ 46, දිලේෂ් ගුණරත්න 4/35.

Photos : Army SC vs NCC | Premier Super 8s Tournament

පලිහ තරග

වයස අවුරුදු 20ක් වන ලක්ෂිත රසාංජන මීගමුව ක්‍රිකට් සමාජය වෙනුවෙන් කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් දැක්විය. ඒ සහ ලංකන් ක්‍රිකට් සමාජයට එරෙහිවයි. ලංකන් කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ පිතිකරණයක නිරත වූ චානක රුවන්සිරි ශතකයක් ලබා ගනිමින් ලංකන් පළමු ඉනිම ලකුණු 270ක් දක්වා ඔසවා තැබුවේය. ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ ලහිරු සමරකෝන් මුවර්ස් ක්‍රීඩා සමාජය එරෙහිව කඩුලු 4ක් දවා ගනිමින්  දස්කම් දැක්වූයේ බදුරලිය ක්‍රීඩා සමාජය වෙනුවෙනි.

මුවර්ස් ක්‍රීඩා සමාජය සහ බදුරලිය ක්‍රීඩා සමාජය

මුවර්ස් ක්‍රීඩා සමාජ පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 239/7 (77.1): අදීශ තිලංචන 53, දිනුක ඩිල්ශාන් 46, රමේෂ් මෙන්ඩිස් 40, ලහිරු සමරකෝන් 4/59.

Photos: Moors SC Vs Badureliya CC | SLC Premier Plate Tournament 2019/20

ලංකන් ක්‍රිකට් සමාජය සහ මීගමුව ක්‍රිකට් සමාජය

ලංකන් ක්‍රිකට් සමාජ පළමු ඉනිම – 270 (68.2): චානක රුවන්සිරි 124*, ලහිරු ඩිල්ශාන් 43, ලක්ෂිත රසාංජන 5/85.

මීගමුව ක්‍රිකට් සමාජ පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 64/3 (13):

Photos: Negombo CC Vs Lankan CC | SLC Premier Plate Tournament 2019/20

එස්. එස්. සී ක්‍රීඩා සමාජය සහ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය

එස්. එස්. සී පළමු ඉනිම – 242/8 (71): සචිත්‍ර සේනානායක 81, සඳුන් වීරක්කොඩි 35, දසුන් ශානක 35, සුරංග ලක්මාල් 3/32.

Photos: SSC vs Tamil Union C & AC | SLC Premier Plate Tournament 2019/20

මෙම තරග සියල්ලම හෙට (11) දෙවන දිනයටත් ක්‍රියාත්මක වේ. තරගාවලියේ විශේෂ වීඩියෝ, තරග සේයා රූ, ලකුණු සටහන් ඇතුළු සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. ක්‍රීඩාවේ නවමු අත්දැකීම් විඳගන්න, ඔබත් ThePapare.com වෙබ් අඩවිය දැන්ම subscribe කරන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<