සුරංග ලක්මාල් සිය ක්‍රිකට් දිවිය ගැන තීරණයක් ගනී

2812

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් සහ වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් එළඹෙන ඉන්දීය ටෙස්ට් තරග සංචාරයෙන් පසු සියලුම ආකාරයේ ජාත්‍යන්තර තරග ආකෘතීවලින් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබෙනවා.

2009 දෙසැම්බර් 18 වැනිදා ඉන්දියාවට එරෙහිව Nagpur හිදී පැවති එක්දින තරයක දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වරට ජාත්‍යන්තර වරම් දිනා ගන්නා ලක්මාල්, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 5ක දී නායකත්වය හොඹවා තිබෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දැනට ටෙස්ට් තරග 68කට ක්‍රීඩා කර ඇති 34 හැවිරිදි ලක්මාල් බිඳ හෙළා ඇති ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 168ක්. කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 36.28ක රඳවා ගැනීමට සමත්ව සිටින ඔහු කඩුලු 5කට වඩා වැඩියෙන් දවා ගත් අවස්ථා 4ක් සිය ටෙස්ට් දිවියේ සටහන් කර ගැනීමට දැනට සමත්ව තිබෙනවා.

එක්දින තරග 86කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 11කට ක්‍රීඩා කර ඇති ලක්මාල් එහි දී පිළිවෙළින් කඩුලු 109ක් සහ 8ක් දවා ගැනීමට සමත්වී තිබෙනවා. අවශ්‍ය විටෙක පිතිකරණයෙන් ද දක්ෂතා දැක්වීමට සමත් වූ ලක්මාල් ටෙස්ට් තරගවල දී ලකුණු 928ක් සහ එක්දින තරගවල දී ලකුණු 244ක් ලබාගෙන පිතිකරණයෙන් පවා සිය උපරිමය දක්වා තිබෙනවා.

“මාගේ වෘත්තීය ජීවිතය හැඩගස්වා ගන්නට සහ මාගේ පෞද්ගලික දියුණුවට නොමසුරුව දායක වෙමින් ශ්‍රී ලංකා මාතාව නැවතත් ගෞරවයට පාත්‍ර කරන්නට මෙවැනි අනගි අවස්ථාවක් ලබා දුන් සහ මා වෙනුවෙන් විශ්වාසය තැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මම සදා ණයගැතියි.මාගේ සියලුම සහෝදර ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, කණ්ඩායම් කළමනාකරුවන්, සහාය කාර්ය මණ්ඩලය, පරිපාලන කාර්ය මණ්ඩලය සහ අනෙකුත් සියලුම සහායක කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාට මාගේ උපරිම ගෞරවය මේ අවස්ථාවේ පිරිනමනවා.” යැයි සිය සමුගැනීම පිළිබඳ දැනුම් දීමේ ලිපියෙන් සුරංග ලක්මාල් සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා, 2009 වසරේ සිට 2022 කාලසීමාව ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණ වෙනුවෙන් උරදුන් සුරංග ලක්මාල් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දැඩි දායකත්වයක් ලබා දුන් ක්‍රීඩකයෙක් බවත්, ලක්මාල් සිය තරග දිවියේ දී අමතක නොවන පන්දු යැවීමක නිරත වෙමින් ඒ දැක්වූ දස්කම් මෙරට ක්‍රිකට් සමඟ සදා අමරණීය මතකයක් එක් කරනු ඇති බව ද සඳහන් කර සිටියා.

“ඔහුගේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත්වේවා කියලා මා මේ අවස්ථාවේ දී ඔහුට සුබ පැතුම් එක්කර සිටිනවා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය සඳහා තේරීම් කමිටුව විසින් ඔහුට අවස්ථාවක් ලැබුනහොත්, ඔහු ඉතාමත් හොඳින් දක්ෂතා අතරට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා”, යැයි ඈෂ්ලී ද සිල්වා මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<