ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරඟාවලියේදී ශ්‍රී ලංකාවට 36වන ස්ථානය

257
Photo credits: WJC Bilbao 2016 - Sergio López

ස්පාඤ්ඤයේ බිල්බාඕ හිදී පැවැත්වෙන ලෝක ශුරතා කනිෂ්ඨ බැඩ්මින්ටන් තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කනිෂ්ඨ බැඩ්මින්ටන් කණ්ඩායමට, තමා සහභාගී වූ සියළු තරඟ පරාජය වෙමින් 36 වැනි ස්ථානයට පත්වන්නට සිදුවූයේ කණගාටුදායක අයුරිනි.

පසුගිය ලිපි: කනිෂ්ඨ බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ, නෝර්වේ සහ ලිතුවේනියාව හමුවේ ඉහල දස්කම් දක්වයි

ලෝක බැඩ්මින්ටන් සංගමය විසින් සත්කාරකත්වය දරන ලද තරඟාවලිය නොවැම්බර් 2 වැනිදා සිට 6 වැනිදා දක්වා පැවැත්විය.

දකුණු කොරියාවත්, ස්වීඩනයත්, ඇල්ජීරියාවත් සමඟින් තරඟ බිමට පිවිසි ශ්‍රී ලංකා කනිෂ්ඨ කණ්ඩායම, තරඟාවලිය අවසානයේ තම කාණ්ඩයේ පහල ස්ථානයක් වෙන් කරගැනීමට සමත් විය.

5 වැනිදා පැවැත්වුණු, අවසන් අදියරේ 33-40වන ස්ථාන වෙනුවෙන් පැවති තරඟ වලින්ද, පරාජිත අන්තයෙන් නවතින්නට ඔවුන්ට සිදුවිය. බල්ගේරියාව සමඟ පැවැත්වුණු තරඟයේදී, සමස්ත ඉසව්වෙන්ද ශ්‍රී ලංකා කනිෂ්ඨයන්ට සිදුවූයේ 3-1ක් ලෙස පරාජය වන්නට ය. ශ්‍රී ලංකාව මිශ්‍ර යුගල ඉසව්වෙන්ද, පිරිමි ඒකල ඉසව්වෙන්ද පරාජය ලැබුවත්, ශ්‍රී ලංකා නායිකා බුත්මි ගලගමගේ තමා සහභාගී වූ කාන්තා ඒකල ඉසව්ව ජයගනිමින් ශ්‍රී ලංකාව ලබා ගත් එකම ජයග්‍රහණය වාර්තා කළාය.

ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරඟය වූයේ ශ්‍රේණි ගත කිරීම් වල 33 සිට 40 දක්වා වන ස්ථානයන් සඳහා වූ පේරු කණ්ඩායමට එරෙහි තරඟයයි. එහිදී ද පේරු කණ්ඩායමට වැඩි වාසි ගෙන එමින් 3-0ක් ලෙස පරාජය වන්නට ශ්‍රී ලංකාවට සිදුවිය. තරඟයක් නොදුන් ශ්‍රී ලංකාව පහසුවෙන් පරාජය කරමින් පේරු කණ්ඩායම ජයග්‍රහණය වෙත යන අතරතුර ඔවුනට තරඟයක් දීමට සමත් වූයේ ශ්‍රී ලංකා පිරිමි යුගල කණ්ඩායම පමණි. කසුන් අමරසේන සහ රන්තුෂ්ක සසිඳු විසින් බ්රූනෝ ඩේසා සහ ජෝසේ ගුවේරා වෙත තරඟයේ දෙවන වටයේදී හොඳ තරඟයක් ලබාදී ජය ලැබුවත්, ප්‍රථම වටයේ සහ තෙවන වටයේ ලද පරාජයන් හේතුවෙන් 21-18, 18-21, 21-14 වශයෙන් පේරු යුගලය තරඟයේ ජය ලැබුවේය.

කෙසේ වෙතත් කණ්ඩායම් 54ක් අතුරින් සමස්ත තරඟාවලියේ 36 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වූ බැවින් තරඟාවලියෙන් ලද හැකි එකම ධනාත්මක අදහස එයයි.

ඒකල තරඟාවලිය ස්පාඤ්ඤයේ බිල්බාඕ හිදී අද (8), ස්පාඤ්ඤ වේලාවෙන් උදේ 9.00ට ඇරඹීමට නියමිතයි. Results SL PERU BWF World JuniorsMatch Results - Sri Lanka vs Bulgaria BWF Juniors