වසරේ IPL කණ්ඩායමෙන් Kohli ඉවතට; Suryakumar ඇතුළට!

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2020

798
Sanjay Manjrekar picks his IPL XI

ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ දක්ෂ පිතිකරුවෙකු මෙන්ම ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන Sanjay Manjrekar මහතා 2020 IPL තරග වාරයේ සුවිශේෂී දස්කම් පෑ ක්‍රීඩකයින් 11 දෙනෙකු සැදුම්ලත් තරගාවලියේ කණ්ඩායම නම් කිරීමට කටයුතු කොට තිබුණේ ක්‍රීඩාලෝලීන් මවිත කරවන තෝරාගැනීම් කිහිපයක් ද ඊට ඇතුළත් කරමිනි.

Royal Challengers Bangalore නායක සුපිරි පිතිකරු Virat Kohliගේ පිත්ත මෙවර තරගාවලියේ දී අපේක්ෂා කළ අයුරින් ක්‍රියාත්මක නොවූ නිසාවෙන් RCB පිතිකරණ ලැයිස්තුවේ ඇතැම් දුර්වලතාවන් ප්‍රතිවාදී පන්දු යවන්නන් විසින් තම වාසියට හරවා ගැනීමට සමත්කම් දැක්විය. 

අංක 3 ස්ථානය ක්‍රීඩා කරමින් Mumbai Indians වෙනුවෙන් බොහෝ අවස්ථාවන්හී ස්ථාවර ආරම්භයක් ලබා දුන් Suryakumar Yadavගේ පිතිකරණ ශෛලිය කෙරෙහි තමා වඩාත් පැහැදුණු බවත්, එම නිසාවෙන් අංක 3 ස්ථානයේ වගකීම ඔහු වෙත පැවරීමට තීරණය කළ බව Manjrekar සඳහන් කර සිටියේය.

“අංක 3 පිතිකරුවා විදියට මම තෝරාගන්නේ Suryakumar Yadavව. ඔහු වගේ දක්ෂ පිතිකරුවෙක්ට වසරේ IPL කණ්ඩායමට ඇතුළත් වෙන්න ලැබෙන එකත් ලොකු අවස්ථාවක් වගේම භාග්‍යයක් කියලයි මම හිතන්නේ. Surya ක්‍රීඩා කරන ස්ථානයේ දිගින් දිගටම දක්ෂතා ප්‍රදර්ශනය කරන්න සමත් වුනා. ඒ විතරක් නෙමෙයි ඔහු එල්ල කරන පහරවල්වලින් වුනත් ඕනම කෙනෙක්ට තේරුම්ගන්න පුළුවන් ඔහු තාක්ෂණය අතින් කොච්චර පරිපූර්ණ ක්‍රීඩකයෙක් ද කියලා. අංක 4ට කිසිම විවාදයක් නැහැ. එකම සුදුස්සා වෙන කවුරුත් නෙමෙයි AB De Villiers. ඔහුට නම් වයස කියන්නේ නිකන් ඉලක්කමක් විතරයි.”

තවත් ක්‍රිකට් පුවත්:

තම මංගල IPL තරග වාරයේ දී ම ලකුණු 400 කඩඉම පසුකර යමින් තමන් සතු හැකියා දක්ෂතා මැනවින් විදහා පෑ RCB ආරම්භක පිතිකරු Devdutt Padikkal, තරගාවලිය අවසානයේ දී තම කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වීමේ ගෞරවය ද තමන් සතු කරගැනීමට සමත් විය. කෙසේ නමුත් යොවුන් ක්‍රීඩකයාගේ වාර්තා සියල්ල පසෙකට දමමින් ආරම්භක පිතිකරු යුගලයේ භූමිකාව ඉටු කිරීමේ වගකීම Manjrekar පවරා තිබුණේ Kings 11 ආරම්භක පිතිකරුවන් දෙදෙනෙක් වන KL Rahul සහ Mayank Agarwal වෙතයි.

“මේ කණ්ඩායම නම් කිරීමේ ප්‍රධාන අරමුණ විදියට මම දකින්නේ මෙවර තරග වාරය සඳහා හොඳින් මුහුණ දීපු ක්‍රීඩකයින් සියලු දෙනාවම නිසි ඇගයීමට ලක් කිරීම. අනික මම මේ කණ්ඩායම තෝරද්දී විදේශීය ක්‍රීඩකයින් 4දෙනෙකුට පමණක් සීමා වෙන්නත් හැමවෙලාවම උත්සාහ කළා. Agarwal, Rahul දෙන්නට අමතරව MI කණ්ඩායමේ ජයග්‍රහණ වෙනුවෙන් Quinton De Kock කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන්නා. නමුත් මම විදේශීය ක්‍රීඩකයින් 4දෙනෙකු පමණක් තෝරගන්න කල්පනා කරපු නිසා ඒ අවස්ථාව ඔහුට ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් Quinny ඔහුට එල්ල වුන පීඩනය මනාවට හසුරවමින් පන්දුවට පහර දුන්නු ආකාරය විශිෂ්ටයි.”

හොඳම මැදපෙළ පිතිකරුවන් සහ පන්දු යවන්නන්ගෙන් සන්නද්ධ මෙම කණ්ඩායමේ අංක 5 ස්ථානයේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව සලසා තිබුණේ කොදෙව් ක්‍රීඩක Nicholas Pooran වෙතයි.

“අපි කවුරුත් තාම Pooranගේ හරි දක්ෂතා දැකලා නැහැ කියලයි මට හිතෙන්නේ. ඕනම වෙලාවක දී වැරෙන් පන්දුවට පහර දෙන්න පුළුවන් ක්‍රීඩකයෙක් නිසා සීමිත පන්දුවාර තරගවල දී ඔහුගේ දායකත්වය ඉතාම වැදගත්. පන්දු යවන්නන් විදිහට වේගපන්දු බලඇණිය ශක්තිමත් කරන්න Jofra Archer සහ Jasprit Bumrah මම තෝරගෙන තියෙනවා. ඔවුන් දෙදෙනාගේ ඇතුළත් වීම ගැන නම් මම අමුතුවෙන් සාධාරණීකරණය කළ යුතු නැහැයි කියලා හිතනවා.”

මීට අමතරව දඟපන්දු යැවීමේ අංශය සවිබල ගැන්වීම සඳහා Manjrekar තෝරාගෙන තිබුණේ සුපිරි පා දඟපන්දු යවන්නන් දෙදෙනෙකු වන Rashid Khan සහ Yuzvendra Chahal යන අයවයි. 

නායකයා පන්දුව භාර කරනා ඕනෑම මොහොතක දී කඩුල්ලක් දවා ගැනීමේ හැකියාව මොවුන් දෙදෙනා සතුවන බැවින් අවිවාදයෙන්ම කණ්ඩායමට ඇතුළත් විය යුතු පන්දු යවන්නන් දෙදෙනෙක් ලෙස Yuzi සහ Rashid හඳුන්වා දිය හැකි බව Manjrekar සඳහන් කර සිටියේය.

“DC කණ්ඩායමේ Axar Patel කණ්ඩායමට අවශ්‍ය මොහොතේ දී තුන් ඉරියව්වෙන්ම ඔහුගේ උපරිම දායකත්වය ලබා දුන්නා. ඔහුගේ බලපෑම නිසා තරග කිහිපයක ප්‍රතිඵලත් උඩුයටිකුරු වුනා. ඒ නිසා තුන් ඉරියව් ක්‍රීඩකයන්ගෙන් මගේ පළමු තේරීම විදිහට මම ඔහුව තෝරාගන්නවා. අවසන් පන්දුවාර කිහිපය අඩු ලකුණු සංඛ්‍යාවකින් බේරගන්න ඕන නම් ඒකට හරියනම පුද්ගලයා Mohammed Shami. කඩුලු රකින්නගේ වගකීම මම පවරන්නේ KL Rahulට.”

Sanjay Manjrekarගේ IPL කණ්ඩායම:

  • KL Rahul(WK),
  • Mayank Agarwal
  • Suryakumar Yadav
  • AB de Villiers
  • Nicholas Pooran
  • Axar Patel
  • Rashid Khan
  • Jofra Archer
  • Yuzvendra Chahal
  • Mohammed Shami
  • Jasprit Bumrah

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<