මහනුවර ආධිපත්‍ය රැක ගද්දී Havelocks පොලිසිය හමුවේ පසු බසී

Nippon අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය 2022/23

187

දේශීය රග්බි පිටිය උණුසුම් කරමින් පැවැත්වෙන Nippon අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ හයවැනි සතියේ තරග පසුගිය දා නිමාවට පත් වුනා.

Police SC v Havelocks SC

පසුගිය සති දෙකේ ඉතා ඉහළ දස්කම් දැක්වූ Havelocks ක්‍රීඩකයින් තියුණු සටනකින් පසුව පරදවා පෙරළිකාරී ජයක් ලබා ගැනීමට පොලිස් ක්‍රීඩකයින්ට හැකි වුනා.

ඉතා උණුසුම් වූ තරගයේ පළමු අර්ධයේ ලකුණු දෙකකින් පෙරමුණ ගැනීමට පොලිස් ක්‍රීඩකයින්ට හැකි වුනේ ප්‍රබල Havelocks ක්‍රීඩකයින්ට දැඩි පීඩනයක් එල්ල කරමිනුයි.

එම අර්ධයේ Havelocks වෙනුවෙන් චානක චන්දිමාල් සහ රන්දිත වර්ණපුර උත්සාහක දිනුම් වාර්තා කරද්දී පොලිස් කණ්ඩායම වෙනුවෙන් නිසල් සමාධි සහ ශානක හරිස්චන්ද්‍ර උත්සාහක දිනුම් වාර්තා කළා.

පොලිස් කණ්ඩායම වාර්තා කළ උත්සාහක දිනුම් ද්විත්වයේම ප්‍රවර්තන අවස්ථා සාර්ථකව අවසන් කිරීමට යොහාන් පීරිස්ට හැකි වුනේ සිය කණ්ඩායම පෙරමුණේ තබමිනුයි.

දෙවැනි අර්ධයේ දී නැවතත් ක්‍රියාත්මක වූ යොහාන් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කරමින් එහි ප්‍රවර්තන අවස්ථාව ද ඉතා සාර්ථකව අවසන් කළා.

එයට පිළිතුරු ලෙස විමුක්ති රාහුල උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූවත් තරගයේ වෙනසක් ඇති කිරීමට එයට ප්‍රමාණවත් වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: Havelocks SC 21 – 19 Police SC

Kandy SC v CH&FC

තරගාවලියේ තවත් තියුණු සටනකින් පසුව CH&FC ලකුණු දෙකකින් පරාජය කරමින් ජයග්‍රහණය ලැබීමට මහනුවර ක්‍රීඩකයින්ට හැකි වුනා.

මහනුවර ක්‍රීඩකයින් මෙම තරග වාරයේ කොළඹ දී තරග වැදි දෙවැනි අවස්ථාව මෙය වූ අතර තරගයේ පළමු අර්ධයේ දී කවිඳු පෙරේරා, තරින්ද රත්වත්තේ සහ උචිත ජයසූරිය මහනුවර වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කළා.

එම උත්සාහක දිනුම් සමඟ මහනුවර ක්‍රීඩකයින් පළමු අර්ධයේ පෙරමුණ ගත්තේ ලකුණු 17-08ක් ලෙසයි.

දෙවැනි අර්ධයේ දී CH&FC වෙනුවෙන් යෝෂිත රාජපක්ෂ විසින් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරමින් CH&FC තරගයේ පෙරමුණට ගෙන ඒමට සමත් වූවත්, චතුර සොයිසා අවසන් භාගයේ වාර්තා කළ උත්සාහක දිනුම සමඟ තරගයේ ජය තහවුරු කර ගැනීමට මහනුවරට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: Kandy SC 27 – 25 CH&FC

CR&FC v Navy SC

පෙර සතියේ ලැබූ කෙටි පසුබෑමෙන් පසුව නාවික හමුදාවට එරෙහිව ජයක් ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට CR&FC ක්‍රීඩකයින්ට හැකි වුනා.

දිනේෂ් ද සිල්වා සහ හර්ෂ මධුරංග වාර්තා කළ උත්සාහක දිනුම් සමඟ පළමු අර්ධය 15-13ක් ලෙස පෙරමුණ ගැනීමට නාවික හමුදාව සමත් වූ අතර එම අර්ධයේ දී CR&FC වෙනුවෙන් අශාන් ඩාර්ලින් උත්සාහක දිනුමක් වාර්තා කරද්දී, චතුර සෙනවිරත්න දඬුවම් පහර දෙකක් වාර්තා කළා.

දෙවැනි අර්ධයේ නාවික හමුදා ක්‍රීඩකයින් දෙදෙනෙකුට හිමි වූ කහ කාඩ් පත් වලින් ප්‍රයෝජන ගත් CR&FC වෙනුවෙන් Murshid Zubair සහ තේනුක නානායක්කාර උත්සාහක දිනුම් වාර්තා කරමින් ලකුණු සටහනේ වෙනසක් ඇති කළා.

නාවික හමුදාව වෙනුවෙන් ළහිරු හේරත් උත්සාහක දිනුමක් වාර්තා කළත්, CR&FC ක්‍රීඩක ගැමුණු චේතිය වාර්තා කළ උත්සාහක දිනුම සහ චතුර වාර්තා කළ දඬුවම් පහර සමඟ තරගයේ ජය CR&FC තහවුරු කළා.

තරගයේ අවසන් අතිරේක කාලයේ නාවික හමුදාව වෙනුවෙන් නිරෝෂ් පෙරේරා වාර්තා කළ උත්සාහක දිනුම නිසා අමතර ප්‍රසාද ලකුණක් අහිමි වීමේ අවදානමෙන් නාවික හමුදාව වැළකී ගියා.

අවසන් ලකුණු තත්වය: CR&FC 33 – 27 Navy SC

Air Force SC v Army SC

යුද හමුදා ක්‍රීඩකයින් ලකුණු 27-19ක් ලෙස පරාජය කරමින් නැවතත් ජයග්‍රහණ අතරට පිවිසීමට ගුවන් හමුදා ක්‍රීඩකයින්ට හැකි වුනා.

කවීන් පෙරේරා වාර්තා කළ උත්සාහක දිනුම නිසා පළමු අර්ධයේ පෙරමුණ ගැනීමට යුද හමුදා ක්‍රීඩකයින්ට හැකි වුනා.

ආරම්භයේ සිටම උණුසුම් වූ දෙවැනි අර්ධයේ මුල් භාගයේ උත්සාහක දිනුම් දෙක බැගින් වාර්තා කිරීමට කණ්ඩායම් සමත් වූ අතර එහි ප්‍රවර්තන අවස්ථා සාර්ථක කර ගනිමින් පෙරමුණ ගැනීමට යුද හමුදාවට හැකි වුනා.

ලකුණු 09ක් ඉදිරියෙන් සිටිමින් තරගයේ ප්‍රබල තත්වයක යුද හමුදාව පසු වූවත් ගුවන් හමුදාව වෙනුවෙන් කෞෂාන් මාලින්ද වාර්තා කළ උත්සාහක දිනුම් ද්විත්වය සමඟ ගුවන් හමුදා ක්‍රීඩකයින් පෙරළිකාරී ජයක් ලැබුවා.

අවසන් ලකුණු තත්වය: Air Force SC 27 – 19 Army SC

තරගාවලියේ හත්වැනි සතියේ තරග කාලසටහන,

ජනවාරි 27

• Navy SC v Air Force SC – Welisara

ජනවාරි 28

• Havelocks SC v Kandy SC – Havelock Park

• Police SC v CH&FC – Police Park

ජනවාරි 29

• CR&FC v Army SC – Longdon Place

Nippon අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ තරග තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<