ශ්‍රී ලංකා ක්‍රිකට් නව තාක්ෂණික උපදේශන කමිටුව වැඩ අරඹයි

212
Ministry of Sports and Youth Affairs

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තාක්ෂණික උපදේශන කමිටුවේ නිලධාරීන් හට නිල වශයෙන් පත්වීම් භාර දීම ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී අද (11) දින සිදු වුනා.

ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් නිසි වෙලාවට නිවැරදි, සෘජු තීරණ ගැනීමට නොපැකිළෙන බව ප්‍රකාශ කළ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍රිකට් ක්‍රීඩාවේ දැනට පැන නැගී ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා 2020 ජනවාරි 8 වන දිනට සංශෝධිත ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ තුන්වැනි ඡේදය හා 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 39 (03) වන වගන්තිය සමඟ කියවිය යුතු 41 වැනි වගන්ති යටතේ අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සඳහා තාක්ෂණික උපදෙස් කමිටුවක් පත් කළා.

කමිටු සාමාජිකයින්ගේ නම් මෙසේයි,

01.සනත් ජයසූරිය මහතා (කමිටු සභාපති)

02.ෆර්වීස් මහරූෆ් මහතා (කමිටු සාමාජික)

03.කපිල විජේගුණවර්ධන මහතා (කමිටු සාමාජික)

04.චරිත් සේනානායක මහතා (කමිටු සාමාජික)

05.අසන්ත ද මෙල් මහතා (කමිටු සාමාජික)

ක්‍රීඩා ක්ෂේත්‍රයේ අතිදැවැන්ත වැඩ කොටසක් කර ඇති මෙම කණ්ඩායම  පිළිබඳව ඇති විශ්වාසයත් සමඟ මොවුන් සියලු දෙනා මෙම තනතුරුවලට පත් කිරීමට කටයුතු කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

කමිටුව පත් කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළා.

“පසුගිය කාලයේ දී ක්‍රිකට් ක්‍රීඩාවේ බැස්මක් මිස නැග්මක් දකින්නට ලැබුණේ නැහැ. පුහුණුකරුවන් සහ ක්‍රීඩකයින් විශාල ප්‍රමාණයක් අප රට පිළිබඳව කලකිරීමකින්  රට හැරදා ගොස් හමාරයි. එම කරුණ ඉතා කණගාටුදායක තත්ත්වයක්. ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා සහයෝගයක් ලබා ගැනීමට ඉතිරිව ඇත්තේ ඉතාම සීමිත පිරිසක්. ක්‍රිකට් ක්‍රීඩාව ගැන ආදරයක් ළෙන්ගතුකමක් සමඟ මෙම ක්‍රීඩාව ගොඩනැංවිය යුතුයි යන අදිටනින් වැඩ කටයුතු කරන ඉතා සුළු පිරිසක් අප වටා සිටිනවා.

එම සුළු පිරිස අතරෙන් ද පිරිසක් දැනට පවතින  ක්‍රමවේදය නිසා දැඩි කනගාටුවකින් ඉවත් වී සිටිනවා. ඔවුන් මෙම ක්‍රමවේදයේ ගැටලු නිසා කිසිම දෙයකට සහභාගි නොවී සිටිනවා. එවැනි මොහොතක මාගේ ආරාධනය පිළිගෙන මෙම කර්තව්‍ය සඳහා සහාය දීමට මොවුන් සියලු දෙනා පැමිණීම ඉතා වටිනා ක්‍රියාවක්.”

පසුගිය ආසියානු කුසලානය සහ ඕස්ට්‍රේලියානු සංචාරය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබුණු නමුත්, ඇතිවූ අඩුපාඩු පිළිබඳව, තාක්ෂණික කටයුතු හා ක්‍රීඩකයින් තේරීම් සම්බන්ධයෙන් ද සොයා බැලීමට ද මෙම තාක්ෂණික කමිටුව කටයුතු කළා.

“විශේෂයෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් මම මහජනතාවට වගකිව යුතුයි. ජාත්‍යන්තර තරග වලට මුහුණ දීම සඳහා රටක් වශයෙන් ඉදිරියට යන්නේ කෙසේදැයි සොයා බැලීම සහ ක්‍රීඩාවේ ජයග්‍රහණය සඳහා මූලිකවම වගකිව යුත්තේ ක්‍රීඩා අමාත්‍යවරයායි. මෙම කාරණා නිසාවෙන් තාක්ෂණික කමිටුව පත්කළ අතර ඔවුන් ලබාදෙන උපදෙස් හරියාකාරව සොයා බලා ඒ අනුව කටයුතු කිරීමට කටයුතු කරනවා. ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයවත් වෙනත් රටක්වත් අපේ රටේ ක්‍රිකට් හදන්න එන්නේ නැහැ.”

“පසුගිය කාලයේ සිදු වූ සිදුවීම් ගත් කල ක්‍රිකට් ක්‍රීඩාවෙන් රටක් ලෙස අපි විශාල පසුබෑමකට ලක්ව තිබෙනවා. එම සියලු අභියෝග ජයගෙන මීළඟ ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒම සඳහා මුල සිට ගත යුතු පියවරයන් හදුනාගෙන යා යුතු ඉලක්කයන් ද සපුරමින් සියලු පාර්ශවයන් සමගින් මෙම කමිටුව සමඟින් එක්ව කටයුතු කිරීම අපගේ අරමුණයි.”

ක්‍රීඩා ඇමතිවරයා විසින් ක්‍රිකට් ආයතනයට උපදෙස් ලබා දීම වෙනුවෙන් පත් කළ නව තාක්ෂණික කමිටුවට කිසිවෙක් විය යුතු නැති බව එම කමිටුවේ සභාපති හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය පවසනවා. ඔහු මේ අදහස් පල කළේ අද කොළඹ දී ක්‍රීඩා ඇමතිවරයා සමග මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පසුගිය තරගාවලි පරාජයන් පිළිබඳ සොයා බැලීම තම කමිටුව සිදු කරන බවත් තමන්ට පැවරී ඇති රාජකාරි ඉටු කරනවා නම් ප්‍රශ්නයක් නැති බවත් සභාපතිවරයා පැවසුවා.

“වසර ගණනාවකට පසු ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තේරීම් තරග සඳහා ඉදිරිපත් විය යුතුයි. මෙය අවාසනාවන්ත තත්ත්වයක් මෙසේ පරාජයන් අත්කර ගැනීම පිළිබඳව කරුණු විමසිය යුතුයි. ඒ සඳහා ‍ක්‍රිකට් තේරීම් කමිටුව, පුහුණුකරුවන් හා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් මුණගැසී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයට යොමු කිරීම අපේ අරමුණයි.” අවශ්‍ය වෙලාවෙ දී තද තීරණ ගැනීමට තමන් ‍සූදානම් බවත් මේ තාක්ෂණික කමිටුවේ සභාපති සනත් ජයසූරිය මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා.

මෙම අවස්ථාවට ක්‍රීඩා හා ‍යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන් මහතා, අතිරේක ලේකම් (සංවර්ධන) දීපාල් සිරිබද්ධන, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් (වැඩ බලන) අනුර මුතුමාල යන මහත්වරුන් සහභාගී වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<