ටෙස්ට් ජයක් සොයා ශ්‍රී ලංකාවට එන බව අයර්ලන්තය නායකයා පවසයි!

Sri Lanka vs Ireland 2023

2031
Andrew Balbirnie reveals his hopes against sri lanka

ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී තම හැකි උපරිමයෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව අයර්ලන්ත නායක Andrew Balbirnie සඳහන් කරනවා.

අයර්ලන්තය සහ බංග්ලාදේශය අතර පැවැත්වුණු පළමු සහ එකම ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ (07) අවසන් වූ අතර එහි දී අයර්ලන්තයට බංග්ලාදේශ කණ්ඩායම හමුවේ කඩුලු 7ක පරාජයක් අත්විඳීමට සිදුවුනා.

ආසන්න වශයෙන් වසර හතරක පමණ ඇවෑමෙන් පසුව ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග බිමට නැවතත් අවතීර්ණ වූ අයර්ලන්තය බංග්ලාදේශය හමුවේ පරාජයක් ලැබුව ද, විශේෂයෙන්ම ඔවුන්ගේ දෙවැනි ඉනිමේ මුල් කඩුලු 4ක් ම ලකුණු 13කට බිඳ වැටීමෙන් පසුව දියත් කළ සටන්කාමී පිතිකරණය බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක් වුනා. අවසානයේ ඉනිමක පරාජයෙන් ගැලවුණු අයර්ලන්තය බංග්ලාදේශ කණ්ඩායමට හඹා යාම සඳහා ලකුණු 137ක ඉලක්කයක් ලබා දීමට පවා සමත් වුනා.

මෙම තරගයේ දී අයර්ලන්ත කඩුලු රකින්නා ලෙස ක්‍රීඩා කළ Lorcan Tucker විසින් මංගල ටෙස්ට් තරගයේ දී ම සිය මංගල ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර, ඔහුට අමතරව Andy McBrine සහ Harry Tector විසින් අර්ධ ශතක රැස් කිරීමට සමත් වුනා.

බංග්ලාදේශයට එරෙහි තරගයට තම කණ්ඩායම දුර්වල ආරම්භයක් ලබා ගත්ත ද, පසුව හොඳින් තරගයට අවතීර්ණ වූ බව අයර්ලන්ත නායකයා විසින් පවසනවා. එමෙන්ම බංග්ලාදේශය සමඟ තරගයෙන් පසුව කෙළින්ම ශ්‍රී ලංකාව බලා ඒමට සැලසුම් කර සිටින අයර්ලන්ත කණ්ඩායමේ ප්‍රධාන ම බලාපොරොත්තුව එම තරගාවලියේ දීත් හැකි උපරිමයෙන් ම ක්‍රීඩා කිරීම බවයි Andrew Balbirnie විසින් ප්‍රකාශ කළේ.

“අපි හැකි උපරිමයෙන් සූදානම් වෙනවා. අපි ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් ම ක්‍රීඩා කරන්න යනවා නම් ඒක ගොඩක් අභියෝගාත්මක දෙයක් වේවි. මොකද අපි දන්නවා ශ්‍රී ලංකාව තමන්ගේ රටේ දී ඉතාම හොඳින් ක්‍රීඩා කරන බව.

නමුත් අපේ අයත් හොඳ විශ්වාසයකින් ඉන්නවා. ඒ අය හොඳින් දක්ෂතා දක්වනවා. අපිට තවත් නිවැරදි දේවල් ටිකක් එකතු කර ගන්න හැකි වුනොත් හොඳ දෙයක් කරන්න පුළුවන් වේවි. අපිට අවශ්‍යයි හොඳ උත්සාහයක් දරලා ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කරන්න.” 

එමෙන්ම නිමා වූ තරගයේ දී තමන්ගේ ක්‍රීඩකයින් දැක් වූ දක්ෂතා පිළිබඳවත් තමන් සෑහීමකට පත්වන බව Balbirnie විසින් පවසා සිටියා.

එහි දී සිය කණ්ඩායමේ ශතක ලාභි Lorcan Tucker මෙන්ම, තුන් ඉරියව් දස්කම් දැක්වූ Andy McBrine පිළිබඳවත් විශේෂයෙන් ම සඳහන් කිරීමට ඔහු අමතක කළේ නැහැ.

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට තරග දෙකක් ඇතුළත් වන අතර, එයින් පළමු තරගය අප්‍රේල් 16 වැනිදා සහ දෙවැනි තරගය අප්‍රේල් 24 වැනිදා ආරම්භ වීමට නියමිතයි. එමෙන්ම මෙම තරග දෙක ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<