ප්‍රබලයින් දෙදෙනෙකුට රංජි කුසලානයෙන් දක්ෂතා හදා ගන්න ඉල්ලීමක්

2641

වසර දෙකක දීර්ඝ නිහැඬියාවකින් අනතුරුව ඉන්දීය ක්‍රිකට් පිටියේ ප්‍රමුඛතම දේශීය තරගාවලිය ලෙස පිළිගැනෙන රංජි කුසලාන නව තරග වාරය නුදුරේ දී ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් සියල්ල සකස් කිරීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම තරගාවලිය අදියර දෙකකින් ක්‍රියාත්මක කිරීමේ යෝජනාව ද සම්මත වී ඇති බව ද ආරංචි මාර්ග සනාථ කොට තිබේ.

මෙවර තරග වාරය දියත් කිරීමට සුදුසු කාලසීමාවක් වෙන් කරවා ගැනීම තරමක් අභියෝගාත්මක කර්තව්‍යයක් බවට පත්වූ බව තරගාවලි සංවිධායක කමිටුව සඳහන් කර තිබූ අතර සම්මත කර ගත් යෝජනාවට අනුව පළමු අදියරේ තරග මේ මස අවසානයේත්, පිළිමළුන් පිටුදැකීමේ වටයේ තරග IPL තරගාවලියෙන් අනතුරුව පැවැත්වීමටත් තීරණය කර තිබෙන බව වාර්තා වේ.

BCCI සභාපති Sourav Ganguly මහතා සඳහන්කොට තිබුණේ පසුගිය තරගාවලි කිහිපයේ දී ම තරමක් පසුගාමී පිතිකරණ රටාවක නියැලුණු සුපිරි පිතිකරුවන් දෙදෙනෙක් වන Ajinkya Rahane සහ Cheteshwar Pujara වැනි ජාත්‍යන්තර තරග බිමේ අත්දැකීම් බහුල ක්‍රීඩකයින් හට පවා මෙය ඔවුන්ගෙන් ගිලිහී ගිය රිද්මය යලි ගොඩනඟා ගැනීමට අනගි අවස්ථාවක් වනු ඇති බවයි.

ඔවුන් දෙදෙනාම අති දක්ෂ පිතිකරුවන් බව අපි හැමෝම අවිවාදයෙන් පිළිගන්නවා. මම විශ්වාස කරනවා ඔවුන් දෙදෙනාම Ranji කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කරාවී කියලා. ඒක ඔවුන්ට සෑහෙන හොඳ අවස්ථාවක් නැවතත් ලකුණු අතරට පිවිසිලා අවශ්‍ය අඩිතාලම සකස් කරගන්න. මම හිතන්නේ නැහැ Ranji කුසාලනයට ක්‍රීඩා කරන එකේ ගැටලුවක් තියෙනවා කියලා මොකද මම ඇතුළුව බොහෝමයක් දෙනා ජාතික කණ්ඩායමට තේරීපත් වුනේ මේ තරගාවලිය තුල ප්‍රදර්ශනය කරපු දක්ෂතාවන්ට ස්තුතිවෙන්න.”

ඔවුන් දෙදෙනාම සීමිත පන්දුවාර තරග සඳහා ක්‍රීඩා නොකරපු කාලසමයේ දී, ඒ කියන්නේ ටෙස්ට් ක්‍රීඩකයින් විදියට කණ්ඩායමේ සේවය කරද්දී Ranji කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කරපු නිසා මම හිතනවා Ajinkya සහ Pujaraට මේ ලැබෙන අවස්ථාවේ වටිනාකම ගැන පැහැදිලි අවබෝධයක් තියෙනවා කියලා. ඒක නිසා මම හිතන්නේ නැහැ මේක ලොකු ගැටලුවක් වේවි කියලා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<