සනත් ශ්‍රී ලංකා Legends කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා පිටියට

Road Safety World Series 2021

879

හිටපු සුපිරි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මෙවර ඉන්දියාවේ පැවැත්වෙන “Road Safety World Series T20” තරගාවලියේ දී ශ්‍රී ලංකා Legends කණ්ඩායම සඳහා ක්‍රීඩා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. තරගාවලිය මාර්තු 2 වැනිදා සිට 21 වැනිදා දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ් අනුව මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකා Legends කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන තිලකරත්න ඩිල්ෂාන් සමඟින් සනත් ජයසූරිය සිය ඉනිම ඇරඹීමට නියමිතය.

කෙසේ නමුත් මුත්තයියා මුරලිදරන්, රොමේෂ් කලුවිතාරණ, මාවන් අතපත්තු, උපුල් චන්දන සහ චමින්ද වාස් යන 1996 ලෝක ශූර කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් 5 දෙනා Road Safety World Series විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී නොවනු ඇත. එයට හේතුව වී ඇත්තේ 1996 ලෝක කුසලානය දිනා ගැනීමෙන් වසර 25ක් පිරීම නිමිත්තෙන් මෙරට තුල විශේෂ උත්සව කිහිපයක් සංවිධානය කර තිබීම නිසාවෙනි.

තවත් ක්‍රිකට් පුවත්:

ගෝලීය වශයෙන් පැතිර ගිය නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය නිසා තාවකාලිකව නවතා දැමුණු එම තරගාවලිය මාර්තු 2 වැනිදා සිට 21 වැනිදා දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත අතර පසුගිය වසරේ දී ශ්‍රී ලංකා Legends කණ්ඩායම නියෝජනය නොකළ රසල් ආනල්ඩ්, ධම්මික ප්‍රසාද්, නුවන් කුලසේකර, චාමර සිල්වා වැනි හිටපු ක්‍රීඩකයින් ද මෙවර තරගාවලියට ක්‍රීඩා කරන බවට වාර්තා වනවා.

2020 මාර්තු 7 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබූ මේ ක්‍රිකට් තරගාවලිය සැලසුම් කළ පරිදි ආරම්භ කිරීමට හැකියාව ලැබුනත්, මාර්තු 11 වැනිදායින් පසුව එම තරගාවලිය තාවකාලිකව නවතා දැමුණා. ඒ ඉන්දියාව ඇතුළු මුළු ලෝකය තුලම වේගයෙන් ව්‍යාප්ත වෙමින් ගිය නව කොරෝනා වයිරසය නිසාවෙන්.

තරගාවලිය තාවකාලිකව නවතා දමන විට  තරග දෙකක් (ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව) සඳහා සහභාගී වී සිටි ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කර සිටියා.

ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩා තරුවලට අමතරව ඉන්දියාවේ Sachin Tendulkar, Virender Sehwag කොදෙව් දේශයේ Brian Lara වැනි සුපිරි ක්‍රිකට් තරු රැසක් මේ තරගාවලිය සඳහා එක්වීමට නියමිතව සිටිනවා.

දැනට තහවුරු වී තිබෙන ශ්‍රී ලංකා Legends කණ්ඩායම – තිලකරත්න ඩිල්ශාන් (නායක), ෆර්විස් මහරූෆ්, සනත් ජයසූරිය, රංගන හේරත්, චාමර කපුගෙදර, සචිත්‍ර සේනානායක, තිලාන් තුෂාර, තිළිණ කන්ඩම්බි, දුලංජන විජේසිංහ, රසල් ආනල්ඩ්, ධම්මික ප්‍රසාද්, නුවන් කුලසේකර, චාමර සිල්වා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<