LPL තරගාවලි අධ්‍යක්ෂක තනතුර මාරු වෙයි

792

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ “තරගාවලි අධ්‍යක්ෂක” ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා පෞද්ගලික හේතුවක් මත අධ්‍යක්ෂක තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ප්‍රථම වරට 202 වසරේ දී සංවිධානය කෙරුණු LPL තරගාවලියේ සිට මේ දක්වා පැවති තරගාවලි දෙකේ දී තරගාවලියේ සාර්ථකත්වය වෙනුවෙන් වික්‍රමරත්න මහතා විශාල මෙහෙයක් සිදු කර තිබෙනවා.

“අපි මෙතුවක් කාලයක් පුරා කරගෙන ආපු වැඩ කටයුතු තවත් හොඳින් ඉදිරියට කරගෙන යන්න නව පුද්ගලයෙකුට භාර දෙන්න කාලය ඇවිල්ලා තියෙන්නේ”, සිය ඉවත් වීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා සිටියා.

ඔහුගේ ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ තරගාවලි අධ්‍යක්ෂක තනතුර සඳහා සමන්ත දොඩන්වල මහතා තෝරාපත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

දොඩන්වල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් හි විධායක කමිටු සාමාජිකයෙකු වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය කමිටුවේ සභාපති ලෙස ද කටයුතු කරනවා.

මේ සමඟින්, 2022 වසරේ දී පැවැත්වීමට නියමිත LPL තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති රීති සහ රෙගුලාසි ප්‍රකාරව සංවිධානය කිරීම දොඩන්වල මහතාට හිමිවන භාරදූර රාජකාරිවලින් ප්‍රමුඛ ස්ථානය ගනු ලබනවා.

දොඩන්වල මහතා හිටපු ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වන අතර ඔහු SSC ක්‍රීඩා සමාජය වෙනුවෙන් 1991 සිට 1997 දක්වා ක්‍රීඩා කර තිබෙනවා. එමෙන්ම ඔහු ශ්‍රී ලංකා සභාපති කණ්ඩායම ද නියෝජනය කර තිබෙන ක්‍රීඩකයෙක්.

වෘත්තියෙන් තේ රස පරීක්ෂකයෙකු (Tea Tester) වන දොඩන්වල මහතා වෙළඳ නිෂ්පාදන තැරැව්කරුවන්ගේ ආයතනයේ (Mercantile Produce Brokers Pvt Ltd) කළමනාකරණ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන අතර ඔහු ශ්‍රී ලංකා තේ තැරුව්කරුවන්ගේ සම්මේලනයේ සභාපති (2020/21) ලෙස ද කටයුතු කර තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<