ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා සංචාරය සැලසුම් කර පරිදි ඉදිරියට

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරගාවලිය 2022

1942

ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ආර්ථික හා දේශපාලන තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන මාසයේ එක්වීමට නියමිත ඕස්ට්‍රේලියානු සංචාරය පිළිබඳව ද යම් අර්බුදයක් මතු වී තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පවසා සිටියේ මාසයක් පුරා පැවැත්වෙන පූර්ණ තරගමාලාව සැලසුම් කළ පරිදි පැවැත්වීමට නියමිත බවයි.

“දැනට අපි තීරණය කරලා තියනවා සංචාරය සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක කරන්න. අපි ඉදිරි දින දෙක තුළ සිදු වන වර්ධනයන් දෙස අවධානය යොමු කරලා කුමක් කළ යුතු දැයි තීරණය කරනවා”, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා බදාදා (මැයි 4) Cricbuzz වෙත අදහස් දක්වමින් පවසා සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව සමඟින් ජුනි 7 සිට ජූලි 12 දක්වා විස්සයි විස්ස තරග තුනකට, එක්දින තරග 5කට සහ ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින තත්වය සහ එම තත්ව වල අවිනිශ්චිතතාවය තරගාවලියේ යම් යම් සැක මතුවීමට හේතුව බව ක්‍රිකට් ආයතනය පවසනවා.

මේ වන විට පවතින විදුලි බල අර්බුදය තුළ ඉදිරි තරග දිවා රාත්‍රී තරග ලෙස පැවැත්විය යුතු ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාර්ශවකරුවන් කිහිප දෙනෙකු විසින් විමසා තිබෙනවා. ඔවුන්ගේ අදහස වී ඇත්තේ එක්දින තරග දිවා තරග බවට පත් කළ යුතුය යන්නයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් මොහාන් ද සිල්වා මහතා පැවසුවේ, ඒ සඳහා ඉක්මනින් තීරණයක් ගන්නා බව‍යි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික විදුලි පද්ධතිය මත රඳා නොපවතින බව ද ඔහු පවසා සිටියා.

“අපිට අපේම විදුලි ජනන යන්ත්‍ර තියෙනවා. අපි ජාතික සැපයුමෙන් යැපෙන්නේ නැහැ. තෙල් හිඟයක්‌ ආවොත් ඒක වෙනත් ගැටලුවක්”, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු කළමනාකරු චරිත් සේනානායක මහතා පවසනවා. “රටේ පවතින දේශපාලන තත්ත්වය ක්‍රීඩාවට කිසිදු බලපෑමක් කරන්නේ නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැමවිටම නිර්පාක්ෂිකයි”, ඔහු පවසා සිටියා.

 

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය පූර්ණ දේශීය තරග වාරය එළඹෙන මැයි 22 වැනිදා ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

“තරග දිවා හෝ දිවා-රාත්‍රි තරග ලෙස පැවැත්වීමේ තීරණය සත්කාරක කණ්ඩායමට භාරයි”, ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙකු පවසා සිටියා.

“සංචාරයේ කිසිදු වෙනසක් නැහැ. අපගේ ආරක්‍ෂක අංශ ප්‍රධානියා තහවුරු කළා රටවල් දෙකෙන්ම නියමිත පරිදි සංචාරය පැවැත්වීම පිළිබඳව කිසිදු ගැටලුවක් නොමැති බව. අපේ සංචිතය ජුනි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණේවි.”

තරගාවලිය ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන යාමේ විකල්පයක් ද මෙරට ක්‍රිකට් ආයතන විසින් සලකා බලා තිබුණා. නමුත් අධික උණුසුම නිසා ජුනි-ජූලි මාසවල ක්‍රිකට් තරග පැවැත්වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සුදුසු නොවන බව තීරණය කර තිබුණා.

ඕස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනවල සැලසුම් කෙසේ වෙතත් ඉදිරි දින 30 තුළ මෙරට තත්වය ඉදිරියට යන ආකාරය මත බොහෝ දේ රඳා පවතිනු ඇති බව තරගාවලියේ පාර්ශවකරුවන් අදහස් පළ කර ඇති බව Cricbuzz වෙබ් අඩවිය තහවුරු කර තිබුණා.

ශ්‍රී ලංකාව තුළ මේ දිනවල පවතින මූල්‍ය ගැටලු නිසාවෙන් මෙම තරගාවලිය පැවැත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වැදගත් වනවා. ඕස්ට්‍රේලියානු සංචාරයේ විදේශීය වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක් පමණ වනවා.

අභ්‍යන්තර මාධ්‍ය සත්කාරක වටිනාකම ඇමරිකානු ඩොලර් 300,000ක් පමණ වනු ඇති අතර ප්‍රචාරණ සහ වෙනත් ආදායම් මාර්ග හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සමස්තයක් වශයෙන් ඩොලර් මිලියන 3ක් දක්වා උපයා ගැනීමට හැකි වනු ඇත.

නමුත් තරගාවලිය සඳහා දැරීමට සිදු වන නිෂ්පාදන පිරිවැය ද ඉහළ වනු ඇත. තරග මාලාව අවසානයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඇමරිකානු ඩොලර් මිලියනයක ආදායමක් ඉතිරි කර ගත හැකි වනවා.

කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකාවට ඉතිරිව ඇත්තේ ඩොලර් මිලියන 50ක විදේශ විනිමය ප්‍රමාණයක් වන අතර ඒ සමඟින් සසඳන විට මෙම ප්‍රමාණය සැලකිය යුතු මුදලක් වනවා.

Cricbuzz ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<