තෝරාගැනීමෙන් හැළුණු මැතිව්ස් ඇතුළු 10කට නැවතත් LPL වරම්

LPL ක්‍රිකට් තරගාවලිය 2021

643

2021 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Player Draft) පසුගිය 9 වැනිදා මාර්ගත ක්‍රමයට පැවැත්වුනා.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කොන්ත්‍රාත් සහිත ප්‍රධාන පෙළේ ක්‍රීඩකයින් රැසක් එහි දී සංචිත සඳහා තෝරානොගැනීම නිසාවෙන් එක් කණ්ඩායමකට ඇතුළත් කර ගත හැකි ක්‍රීඩකයින් සංඛ්‍යාව 20 සිට 22 දක්වා ඉහළ නංවා තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයින් වන කුසල් ජනිත් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් හා වත්මන් T20 කණ්ඩායමේ උපනායක ධනංජය ද සිල්වා දෙවැනි අදියර සඳහා වන ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී කිසිදු කණ්ඩායමක් විසින් තෝරා ගත්තේ නැහැ.

එමෙන්ම අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම, ශිරාන් ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු හා මිනෝද් භානුක ඇතුළු ප්‍රධාන පෙළේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම තෝරා නොගැනීම‍ට කණ්ඩායම් නිලධාරීන් තීරණය කර තිබුණා.

මෙම තීරණය සම්බන්ධයෙන් බොහෝ පාර්ශව වලින් දැඩි විරෝධතාවයක් එල්ල වුණු අතර ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ද සිය නිල Twitter ගිණුම හරහා ඔහුගේ අප්‍රසාදය පළ කර තිබුණා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (11) පස්වරුවේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවේ දී තෝරා නොගත් ක්‍රීඩකයින් 10 දෙනෙකුගේ නම් (ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කොන්ත්‍රාත්ගත වී ඇති ක්‍රීඩකයින් ද ඇතුළත්ව) කණ්ඩායම් පහේ හිමිකරුවන් වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි.

ඒ අනුව මේ අවස්ථාව හිමිවන ක්‍රීඩකයින් 10 දෙනා පහත පරිදි වෙනවා.

ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, අකිල දනංජය, ප්‍රවීන් ජයවික්‍රම, මිනෝද් භානුක, සදීර සමරවික්‍රම, අශාන් ප්‍රියන්ජන්, ශිරාන් ප්‍රනාන්දු

එම ක්‍රීඩකයින් අතරින් එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් දෙදෙනෙකු ලබා ගැනීමට අවස්ථාව සලසන බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් විදෙස් ක්‍රීඩකයින් 673ක් දෙනෙකු ලියාපදිංචි වී සිටි අතර ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවට ඉදිරිපත් කර තිබූ දේශීය ක්‍රීඩකයින් සංඛ්‍යාව 358ක්. ඒ අනුව සමස්ත ක්‍රීඩකයින් 1,031 දෙනෙකු මෙවර ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට ඉදිරිපත් කර තිබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටිනවා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් 05 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර එහි මූලික වටයේ තරග කොළඹ දී හා අවසන් වටයේ තරග හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන එන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<