කුඩා ජොනීගේ ඛේදනීය අත්දැකීම සුඛාන්තයක් වූ දා

994
courtsey - mirror.co.uk - twimg.com

1998 වසරේ ජනවාරියේ තවත් එක් සීතල රාත්‍රියකි. වයස අවුරුදු 8ක ජොනී බෙර්ස්ටෝව්, අවුරුදු 7ක බාල සොහොයුරිය බෙකී සහ ඔවුන් දෙදෙනාගේ පිළිකා රෝගී මව ජැනට් සමඟ නිවසට පැමිණි පසු දුටුවේ තම පියා සියදිවි හානි කරගත් මළසිරුරයි.

“බ්ලූයි” යන සුරතල් නාමයෙන් හැඳින්වුණු ජොනීගේ පියා, ඩේවිඩ් බෙර්ස්ටෝව් එංගලන්ත ටෙස්ට් කඩුලු රකින්නෙකුව සිට විශ්‍රාම ගිය ක්‍රීඩකයෙකි. පසුව ගුවන් විදුලි විස්තර විචාරකයෙකු වශයෙන් යෝක්ෂයර් ප්‍රාන්තය පුරා ප්‍රසිද්ධිය දිනාගත් ඔහුට එම රැකියාව අහිමිව ගියේ  යෝක්ෂයර් ක්‍රිකට් කළමනාකාරිත්වය සමඟ ඇතිවූ මතභේදයකින් පසුව ය. මේ සියල්ලට හේතුව විශාදය (Depression) නම් මානසික රෝගය බව ඇතැමෙකු කීවේය.

සියදිවි හානි කරගන්නා බොහෝ දෙනෙකු මෙන්ම ඩේවිඩ් ද ඊට පෙර ඒ සඳහා තැත් දරා තිබිණි. ඊට පෙර නොයෙක් පෙති වර්ග රාශියක් ගිලදමා මියයන්නට තැත්කළ ඩේවිඩ් අවසානයේ දී නිවසේ තරප්පු පේළියේ ගරාදි වැටට කඹයක් යොදා ගෙල වැළලා ගෙන තිබුණි.

කුඩා දරුවන් දෙදෙනෙකු සමඟ මෙලොව තනිවූ ජැනට් බෙර්ස්ටෝව් ඒ මොහොතේ දී අන්ත අසරණ විය. එහෙත් වර්තමාන එංගලන්ත ටෙස්ට් කඩුලු රකින්නා නිර්මාණය කරන තෙක් ඇය සහ ඇගේ දරු දෙදෙනා මේ සියලු බාධක, අභියෝග ජය ගනිමින් ඉදිරියට ඇදුණු කතා පුවතයි මේ.

“ඔහුට එහෙම කරගන්නට නම් හේතුවක් තිබුණේ නැහැ.” සිද්ධියෙන් 20 වසරකට පසු ජොනී කියයි. ජොනතන් (ජොනී) බෙර්ස්ටෝව් පියාගේ අඩිපාරේම යමින් එංගලන්ත ටෙස්ට් කඩුලු රකින්නෙකු මෙන්ම දැවැන්ත පහරවල් එල්ල කරන්නෙකු බවට පත්වූයේ ලෙහෙසි පහසු කඳු තරණය කරමින් නම් නොවේ.

ජොනීගේ මව ජැනට්, ඇගේ 42 වැනි උපන්දිනය සැමරීමට දිනකට පෙර ජොනීගේ පියා දිවි තොර කර ගැනීම පිළිබඳ දහසක් කතා අසන්නට ලැබිණි. කණගාටුදායකම පුවත නම් ඩේවිඩ් තම බිරිඳගේ උපන්දිනය සැමරීම සඳහා අවන්හලක ඉඩක්ද වෙන්කරවා ගෙන තිබූ කතාවයි. පිළිකා රෝගී ජැනට් හට ඇගේ සැමියා හා උපන්දිනයේ සතුට බෙදා ගැනීමේ අවස්ථාව ද අහිමි කරමින් එම ඛේදවාචකය සිදුවී තිබිණි.

පුදුමයක් ලෙස පියාගේ වියෝවෙන් කලකට පසු එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නා බවට පත්වූ ජොනතන් නොහොත් ජොනීගේ කතාන්දරය, කඳුළු මතින් නැගී සිටින්නට වෙර දරන සෑම ක්‍රීඩකයෙකුටම පූර්වාදර්ශයක් කර ගත හැකිය.

ජොනීගේ කතාව පදනම් කොටගෙන ලියැවුණු “A Clear Blue Sky” කෘතිය, දුක් කඳුළු අතරින් ජීවිතය ජය ගන්නා සෑම පවුලකටම අත්වැලක් විය හැකිය. ඩන්කන් හැමිල්ටන් විසින් රචිත ඊට අවශ්‍ය සෑම සහයක්ම ජොනී සහ ඔහුගේ පවුලේ සගයන් එක්ව ඩන්කන් වෙත ලබා දුන්නේය.

“ගොඩාක් දෙනෙකුට තමන්ගේ පවුල විශේෂයි. මං දන්නවා මගේ පවුලත් එහෙමයි කියලා.” ජොනී ඩේලි මේල් හමුවේ කීවේය.

කලක දී යෝක්ෂයර් ක්‍රිකට් සමාජයේ තනතුරක් හෙබවූ ජොනීගේ මව, ජැනට් බෙර්ස්ටෝව් ඔහුගේ කතාව තුළ ප්‍රබල චරිතයකි. නිහඬවම එංගලන්ත ටෙස්ට් කණ්ඩායම වෙත එන ගමනේ දී ඔහුට ශක්තිය සැපයූ ඇය දැන් එංගලන්තය තුළ ප්‍රකට කාන්තාවකි.

“මං කැමති පසුපසින් ඉන්න.” ජැනට් එසේ කියයි.

එවන් කඳුළු කතාවක් වසර 20කට පසුව නැවත සිහිකරන්නට අවශ්‍ය මානසික ශක්තිය ගොඩනගාගන්නට ජොනී සමත්ව ඇති බව නම් ප්‍රශංසනීය ය. එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට එක්වූ ඔහුගේ කතාව පසුබිම් කොට කෘතියක් රචනා වීමෙන් පසුව ඔහුව ඡායාරූපගත කරන්නට පැමිණි ඩේලි මේල්  ඡායාරූප ශිල්පියාට සහාය දක්වන අතරතුරේ ජොනී මෙසේ කීවේය.

“ඕක එපා. ඕකෙ අම්මා දුකෙන් ඉන්නවා වගෙයි පෙනෙන්නේ. මේ කතාව දුක කතාවක් ගැන නෙමෙයි. මේක ඊට එහා දෙයක්. අපි සතුටින් ඉන්නවා පේන්න ඕන.” දුකම කියමින් අනුකම්පාව ඉල්ලන ස්වභාවයක් ජොනීගේ දිවියේ නැත. ඔහු දුක් පසුකොට තම පවුලටම ආඩම්බරයක් වී ඇත. ඔහුගේ කතාවේ පදනම එයයි.

ජොනී සහ ඔහුගේ මව ජැනට් අද සතුටින් සිටින දෙදෙනෙකි.

වසර 20කට පසුව මෙම ශ්‍රේෂ්ඨ කතාන්දරය ලොව හමුවේ තැබීමට හේතුව කුමක්දැයි යමෙකු ප්‍රශ්න කළ හැකිය.

“අපට ඒ කතාව කියන්නට උවමනා වුනත් නැතත්, මිනිසුන් ඒ කතාව ගැන නොදත් කරුණු කිහිපයක් තිබුණා. මේ කතාව තිබුණේ අප අතරේ පමණයි.” ජැනට් එසේ කියයි.  

“ඊළඟ ජනවාරියට ඩේවිඩ් නැති වෙලා වසර 20යි. ඔහු වැදගත් ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඒ වයසේ දී ඔහු මියයන්නට…” ජැනට් හට වචන ගලපාගත නොහැකි වූ එකම අවස්ථාව එය නොවීය.

ඩේවිඩ් බෙර්ස්ටෝව් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 4ක් සහ එක්දින තරග 21ක් ක්‍රීඩා කළේය. කඩුලු රකින්නෙකු වූ ඔහුට යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට ඇරයුම් ලැබෙන්නේ ඔහු උසස් පෙළ විභාගයට වාඩිවෙන්නට සූදානම්ව සිටිය දීයි. උදෑසන 7ට විභාගය අවසන් කිරීමට වරප්‍රසාදයක් ලැබීමෙන් පසු ඩේවිඩ් ක්‍රිකට් පිටියට පිවිසි අතර ප්‍රතිවාදී ග්ලොස්ටර්යෂර් ක්‍රීඩකයන් ලබා දුන් උඩපන්දු 5ක් කඩුල්ල පිටුපස සිට රැකගත්තේය.

පළමු පෙළ තරග 459කට සහභාගී වී ලකුණු 13,961ක් සහ උඩපන්දු 961ක් ලබා ගන්නට ඩේවිඩ් සමත්වූ අතර ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අමතරව බ්‍රැඩ්ෆෝඩ් සිටි කණ්ඩායමේ පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස ද ඔහු ක්‍රීඩා කළේය.

courtsey – dailymail.co.uk

ඩේවිඩ්, රෙබෙකා බෙර්ස්ටෝව් (බෙකී) සහ ජොනතන් බෙර්ස්ටෝව් (ජොනී) නම් තම දරු දෙදෙනා සමඟ

“කවුරුත් දන්නෙ නැහැ ඔහු ඇයි එහෙම කර ගත්තේ කියලා. කවුරුත් දැන ගන්න එකකුත් නැහැ. ඒත් ඒ ගැන ප්‍රශ්න කරලා වැඩක් නැහැ.” තම පියාගේ මරණය ගැන ජොනී දරන්නේ එවන් මතයකි.

“ඔහු නැතිවුනායින් පස්සේ අම්මාට තිබුණු රෝගෙත් එක්ක (පිළිකාව) අපි මරණයට හේතුව හොයහොයා හිටිය නම් අපට ගොඩක් දේවල් මග හැරෙන්න තිබුණා. අපට ප්‍රශ්නයක් තිබුණා. නමුත් අපි එයට ඉඩ දුන්න නම් අපව පහත හෙලන්න, අම්මගේ සෞඛ්‍ය තත්වයටත් ඒක බලපාන්න තිබුණා” ජොනී කීවේය.

මෙහි වැදගත්ම කතාන්දරය වන්නේ ජැනට් නම් 42හැවිරිදි කාන්තාව, තම කුඩා දරුවන් දෙදෙනාත් සමඟ පිළිකා මාරයා හා සටන් වැදුණු ආකාරයයි.

“මං ඇත්තටම දන්නෙ නැහැ. ඒක උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්. මං හිතුවා මං ඒක ජය ගත යුතුයි කියලා මගේ දරු දෙදෙනා නිසා. එයින් මට ශක්තියක් ලැබුණා. අපි ගොඩාක් දුර දේවල් හිතුවේ නැහැ. ඒකයි අපේ ප්‍රතිපත්තිය වුණේ.” ජැනට් බෙර්ස්ටෝව් නම් දිරිය කාන්තාව තම ජයග්‍රහණය ගැන අදහස් දක්වන්නේ එලෙසින්. අද වන විට ඇය පිළිකාවෙන් මෙන්ම කණගාටුදායක සිතුවිලි වලින් ද ජය ගත්තාය.

කෙසේ වෙතත් ඇය ඒ සියලු වගකීම් කරට ගත්තාය. ඇයට සහයක් වෙමින් ජොනී ද ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්නට විය. අද වන විට ඔවුන්ගේ ඉරණම වෙනස්වී ඇති අතර ඔවුන් පමණක් නොව මුළු ලොවක්ම ඔවුන්ගේ කතාව දෙස ගෞරවාන්විතව බලාසිටියි.

“ඇය අපව රැක බලාගත්තා. ඇය මට සෑම දෙයක්ම ඉගැන්වූවා. ඔබ එය පමණක් දැනගත්තහම ඇති.” දෙනෙතින් කඳුළු හැලෙන්නට පෙර ජොනී සිය මව ගැන අදහස් දැක්වීම නවතා ගත්තේය. ඩේලි මේල් සමඟින් සිදු කළ කතාබහ තුළ දී ජොනීගේ දෙනෙත් කඳුළු වලින් පිරුණු එකම අවස්ථාව ලෙස ක්‍රිකට් රචක පෝල් නිව්මන් මෙම අවස්ථාව සටහන් කොට ඇත.

සිය මව සිහිකරමින් එතරම් සංවේදී වූ ජොනී බෙර්ස්ටෝව් ක්‍රිකට් පිටියේ දී නම් භයානක ප්‍රතිවාදියෙකි. පසුගිය දා අවසන් වූ 2017/18 අළු බඳුන තරගාවලියේ දී ද එංගලන්තය නියෝජනය කළ ඔහු ඕස්ට්‍රේලියාවට එරෙහිව ශතකයක් ද වාර්තා කළේය. මේ දක්වා ටෙස්ට් තරග 48කට ක්‍රීඩා කොට ඇති ජොනී ලකුණු 3,069ක් ලබාගෙන ඇති අතර ඔහුගේ ලකුණු සාමාන්‍යය 39.8කි.

එක්දින තරග තුළ දී එංගලන්තයට නැතුවම බැරි ක්‍රීඩකයෙකු වී ඇති ඔහු තරග 32ක් තුළ ලකුණු 992ක් ලබාගෙන ඇත්තේ 49.6ක සාමාන්‍යයක් පවත්වා ගනිමිනි.

එංගලන්ත ටෙස්ට් කණ්ඩායම තෙක් ආ දිරිය ගමන හේතුකොටගෙන 2017/18 අළු බඳුන තරගාවලියේ පළමු දිනයේ දී ජොනීට ගෞරවයක් වශයෙන් ඔහුගේ පියාගේ අත්සන සහිත අත්වැසුම් දෙකක් ඔහුට පිරිනැමිණි. ඒ ඇන්ඩෲ ජෝන්ස් නම් ඕස්ට්‍රේලියානුවා කුඩා දරුවෙකුව සිටි 1978/79 තරග වාරයේ දී ඩේවිඩ් බෙර්ස්ටෝව් විසින් ඇන්ඩෲගේ පියාට ලබා දුන් අත්වැසුම් කට්ටලයකි.

courtsey – cricket.com.au

ජොනී සිය පියාගේ අත්සන සහිත අත්වැසුම් කට්ටලය අතැතිව

කෙසේ වෙතත් මීට වසර 5කට පමණ ඉහත දී නැවතත් පිළිකාවේ අඳුරු සෙවණැලි ජැනට්ගේ ජීවිතය මත පතිත විය. ජොනී එවකට සිටියේ ඉන්දියානු සංචාරයකට සහභාගී වෙමිනි.

“අම්මා මට ඒක හැංගුවා. බෙකී (සොයුරිය) ඇයව බලාගෙන තිබුණා. තරගයකට සූදානම් වෙමින් සිටිය දී එය දැන ගන්නට ලැබීම මට එපා කරවන අත්දැකීමක් වුනා.” ජොනී සිය අත්දැකීම පැහැදිලි කළේය.

“දැන් අවුරුදු 5ක් වෙනවා. ඒ නිසා මෙදාපාර නත්තල විශේෂයි. එකිනෙකාගෙන් වෙනස් අපි අමාරුකම් වලදීත් ප්‍රතිචාර දක්වන්නේ වෙනස් විදියටයි. සමහර වෙලාවට මට හිතෙනවා ඇයි මටම මෙහෙම වෙන්නේ කියලත්.” දෙවැනි වරටත් පිළිකාවේ අඳුරු සෙවණැලි යටට පැමිණි ජැනට් කියයි.

එහෙත් මවක ලෙස ගෞරවනීය චරිතයක් වන ඇය තවමත් පතන්නේ තම දරු දෙදෙනාගේ යහපතයි.

“මගේ දරුවන් ගැන මට ආඩම්බරයි. මිනිසුන් හැටියටත්, තමන්ගෙ වෘත්තීන් වලදිත් ඔවුන් දෙදෙනාම කළ හැකි උපරිමය කොට තිබෙනවා. ඔවුන් කුමන මාවතක් තෝරා ගත්තත් මට ඕනේ ඔවුන් සෞඛ්‍යසම්පන්නව නැගී සිටීමයි.” ජැනට්ගේ පැතුම එසේ වෙද්දී ජොනී අවසන් වශයෙන් මෙසේ පැවසුවේය.

“කාටහරි කවුරුන්හරි අහිමි වුනා නම් හෝ ඔවුන්ට පිළිකාවකින් බාධාවක් තිබෙනවා නම් අපේ අත්දැකීම ඔවුන්ට උදව්වක් වේවි.”

courtsey – dailymail.co.uk

ජොනීගේ පවුල අද සතුටින් ජීවත් වන පවුලකි

වසර 20කට පසුව තම ඛේදනීය කතා පුවත ජනයා හමුවේ තබන්නේ මන්දැයි විමසන සෑම දෙනෙකුටම අවැසි පිළිතුර එහි සැඟවී තිබිණි. මෙවන් අගනා පූර්වාදර්ශයක් ඔබ හමුවේ තැබෙන්නේ “අනේ අපොයි” කියා නැවතත් අයහපතෙහි ගැලීමට නොව, ඔබව ශක්තිමත් කිරීම පිණිසයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<