හාමිසන්ගේ ගිනිබෝල සහ පොන්ටින්ගේ රුධිරය

651

රසවත් අතීත මතකයන් රාශියක් සිහිගන්වන අළු බඳුන ක්‍රිකට් තරගාවලිය ලොව සම්භාවනීයම ටෙස්ට් ක්‍රිකට් තරගාවලියයි. ඕස්ට්‍රේලියාවත් එංගලන්තයත් අතර පැවැත්වෙන එහි 2017/18 අදියර මේ මොහොතේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙයි.

මෙම ශ්‍රේෂ්ඨ තරගාවලියේ 2005/06 වර්ෂය එංගලන්තයට අතිශය විශේෂ එකක් වූයේ ඔවුන් වසර 18ක දීර්ඝ නැවතුමකින් පසු අළු බඳුන ශූරතාවය ජය ගැනීමට සමත් වීම හේතුවෙනි. තරග 5කින් යුතුවූ 2005/06 අළු බඳුන ශූරතාවලිය 2-1ක් ලෙස ජයගත් එංගලන්තය බොහෝ අවස්ථාවන්වල දී පිටිය තුළ ආධිපත්‍ය පතුරන්නට සමත් විය. එහි පළමු තරගයේ සැඟවුණු රසවත් අතීත මතකයක් විමසා බලමු.  

ටෙස්ට් පිටියට උදා වන අළු බඳුන වසන්තය

පිටියේ සහ ඉන් පිටත කතා බහ, අදහස් උදහස් සහ උණුසුම් සිදුවීම් ගණනාවකට පසු හෙට (23) උදා වන්නේ ටෙස්ට් ක්‍රිකට් පිටියේ වඩාත්ම අවධානය යොමු වන ඉසව්වයි.

සම්භාවනීය වේදිකාව

ලොව ශ්‍රේෂ්ඨ ටෙස්ට් ක්‍රිකට් නායකයන් දෙදෙනෙකු සේ සැලකෙන රිකී පොන්ටින් (ඕස්ට්‍රේලියාව) සහ මයිකල් වෝන් (එංගලන්තය) කණ්ඩායම් දෙකට නායකත්වය දෙද්දී ලොව පුරා “සම්භාවනීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්” කණ්ඩායම් දෙක ගැනම විමසිල්ලෙන් සිටියේය.

සම්භාවනීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්”ය කියූවේ සාමාන්‍ය ක්‍රිකට් උණක් සහිත ප්‍රේක්ෂකයන් නොව පන්දුවෙන් පන්දුව පිතිකරුත් පන්දු යවන්නාත් අතර සිදුවන ටෙස්ට් සටන විචාරශීලීව නැරඹිය හැකි වියත් ප්‍රේක්ෂකයින්ය. සහසුද්දෙන්ම කිවහොත් අළු බඳුන, ගැලරියට ක්‍රීඩා කරන විස්සයි – විස්ස වාණිජ චිත්‍රපටයක් නොව, සම්භාවනීය පස්වැනි මණ්ඩලයට පෙන්වන කලා චිත්‍රපටයකි.  

2005/06 අළු බඳුන ටෙස්ට් තරගාවලිය පැවැත්වුණු කාලය, දේහදාරී එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ස්ටීවන් හාමිසන්ගේ හොඳම කාලය විය. එමෙන්ම තරගාවලියේ පළමු තරගය කෙවින් පීටසන්ගේ පළමු එංගලන්ත ටෙස්ට් තරගය විය. ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් පිත්තෙනුත් පන්දුවෙනුත් ලෝකයම බියගැන්වූ කාලය ද එයම විය. එංගලන්ත ආරම්භක පිතිකරුවන් වූ ඇන්ඩෘ ස්ට්‍රෞස් සහ මාකස් ට්‍රෙස්කොතික් අතර මනා පිතිකරණ සම්බන්ධයක් ගොඩනැගුනු කාලය ද එය විය.

නමුත් එංගලන්තයට දරුණුතම අභියෝගය එල්ල වූයේ ඕස්ට්‍රේලියානු පන්දු යැවීමේ අංශයෙනි. ග්ලෙන් මැක්ග්‍රා, ෂේන් වෝන්, බ්‍රෙට් ලී, ජේසන් ගිලෙස්පි සහ ෂෝන් ටයිට් යන අතිදක්ෂ පන්දු යවන්නන් සියලු දෙනා ද ඇතුළුව ජස්ටින් ලැන්ගර්, මැතිව් හේඩන්, රිකී පොන්ටින් වැනි ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ද ඕස්ට්‍රේලියාවේ දී පරාජය කිරීම කිසිසේත්ම කළහැක්කක් බව තරගාවලියට පෙර බොහෝ ක්‍රිකට් විචාරකයන් නොසිතුවේය.

හාමිසන්ගේ ගිනිබෝල

එහෙත් එංගලන්ත පන්දු යවන්නන් අභියෝගය භාරගත්තේය. පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ දී ම තම බිහිසුණු වේගපන්දු වලින් තරගාවලියට නිසි ආරම්භය ලබාගත්තේ එංගලන්තයයි. පැයට කිලෝ මීටර 145ක පමණ වේගයෙන් පන්දු යැවූ ස්ටීව් හාමිසන් දුම් දමමින් දිවවිත් තණතිල්ලේ ඉපිලීම මැනවින් යොදා ගනිමින් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් දණගැස්වූයේය.

එය කෙතරම් භයංකර පන්දු සැසියක් වී ද යත්, හුක් සහ පුල් පහරේ කෙළපැමිණියෙකු වූ ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින්ව හාමිසන් විසින් පිටියට පිළිගත්තේ ඔහුගේ මුහුණ හරහා පැල්මක් ද ඇතිකරමිනි.

පොන්ටින්ගේ රුධිරය

ස්ටීවන් හාමිසන් යැවූ පන්දුවක් පොන්ටින්ගේ හෙල්මටයේ වැදී ඔහුගේ මුහුණ පැලුණු මොහොත – cricket.com.au

එහෙත් පොන්ටින් කිසිදු වේදනාවක් නොපෙන්වා කෙළින් සිටගෙන සිටියේ එය අළු බඳුන තරගාවලියක් වීම සහ ඔහු ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය දරන “අභිමානවත් ක්‍රීඩකයා” වීම හේතුවෙනි. ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීමේ අභිමානය එවැන්නකි. මෙය සියලු වත්මන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්, ආධුනික ක්‍රීඩකයන් සහ ප්‍රේක්ෂකයන් යන සියල්ලන්ම තදින් සිතට ගතයුත්තකි.

කෙමෙන් පොන්ටින්ව තමන්ට අවශ්‍ය පරිදි සකස් කළ හාමිසන් ඔහුගේ පපුව මට්ටමට බවුන්සර් පන්දුවක් එල්ලකොට තෙවැනි ස්ලිප් ක්‍රීඩකයා වෙත යන උඩපන්දුවක් “නිර්මාණය කරගත්තේය”.

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 190කට සීමා වූ අතර හාමිසන්, ලකුණු 43ක් පමණක් ලබා දී කඩුලු 5ක් දවාගත්තේය.

  හාමිසන්ගේ බිහිසුණු පන්දු සැසිය  

ෂේන් වෝන්ගෙන් “අලුත් කෙවින් පීටසන්ට” පැසසුම් – thetimes.co.uk

ඕස්ට්‍රේලියානුවන් අභියෝගයට අභියෝගයකින්ම පිළිතුරු දුන්නේය. ග්ලෙන් මැක්ග්‍රා එංගලන්ත මුල් පෙළ හරහා පන්දුව දෝලනය කරමින් ඔවුන් අසරණ කළේය. ෂේන් වෝන්ට කිරීමට මහා දෙයක් ඉතිරිව නොතිබූ අතර එංගලන්තයේ කඩුලු 5ක් ලකුණු 21ට දැවීගියේය. තම මංගල ටෙස්ට් ඉනිමේ දී සටන්කාමී ලකුණු 57ක් ලබාගත් පීටසන්ගේ කඩුල්ල සහ අවසන් කඩුලුවලින් එකක් ෂේන් වෝන් විසින් දවාගන්නා විට එංගලන්තය පළමු ඉනිමේ ලකුණු 155කට සියල්ලන් දැවෙන මාවත සකසා ගෙන තිබුණි.

තණතිල්ල මඳක් පිතිකරණයට සුදුසු වන විට ඕස්ට්‍රේලියානුවන් දෙවන ඉනිම වෙනුවෙන් පිටියට පිවිසියේ හාමිසන් හමුවේ කලබල නොවන අදිටනිනි. එහි දී සාර්ථක වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඔහුට ලබාදුන්නේ කඩුලු 3ක් පමණි. ඒ වෙනුවට දැඩි ලෙස පහර කෑමට ෆ්ලින්ටොෆ් හට සිදු විය. ඕස්ට්‍රේලියානුවන් ලකුණු 384කට ඉනිම අවසන් කළේ අළු බඳුන වෙත පළමු පියවර තැබීමට නම් එංගලන්ත කණ්ඩායමට ලකුණු 420ක ඉලක්කයක් ලබාදෙමිනි.

ක්‍රිකට් විනිසුරුවරයෙක් වූ ටී ටේස්ටර් – රැන්මෝ මාටිනස්

හිස් අවකාශයක් හැඩ වෙන්නෙ ඊට මොන මොනවා හෝ එකතු වූ පසුවයි. ජීවිතයත් ඒ වගේ. හැබැයි ඒ එකතු වෙන දේවල්වලට වටිනාකමක් තියෙන්න ඕන.

ලකුණු 420 හඹායෑමේ ආරම්භය එතරම් නරක නොවීය. ලකුණු 80ක පළමු කඩුල්ලේ සබඳතාවයක් සටහන් කළ මාකස් ට්‍රෙස්කොතික් සහ ඇන්ඩෲ ස්ට්‍රෞස්ය. නමුත් ලකුණු 156 සීමාව වන විට එංගලන්ත කඩුලු 6ක් දැවීගොස් තිබිණි. ලකුණු 180දී සියලු එංගලන්ත පිතිකරුවන් දැවීගොස් 2005/06 අළු බඳුන පළමු ටෙස්ට් තරග ජයග්‍රහණය ඕස්ට්‍රේලියාවට හිමි විය. එහි දී මැක්ග්‍රා කඩුලු 4ක්ද, ෂේන් වෝන් කඩුලු 4ක්ද දවාගත්තේය.

ස්ටීවන් හාමිසන් නම් දේහධාරී පන්දුයවන්නා – thenorthernecho.co.uk

පරාජයකින් නිම වුනත් සැබෑ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ගැන සොයා බලන්නෙකුට මෙවැනි තරගාවලි නැරඹීමෙන් ලැබෙන  පාඩම අගනේය. එංගලන්තයට පරාජය හිමිවුවත් හාමිසන් එදා සිදු කළ විශිෂ්ට වේගපන්දුකරණය අදටත් ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ මනසෙහි රැඳී තිබේ. එමෙන්ම පළමු ඉනිමේ කඩාවැටීමෙන් පසු ඕස්ට්‍රේලියානුවන් අභිමානවත්ව ගොඩනැගුනු ආකාරය අලංකාර ය.  ක්‍රීඩකයෙකුට කෙදිනක හෝ ඉතිරි වන්නේ එවන් විශිෂ්ට දස්කම්වල මතකයන් ගොන්නකි. ප්‍රේක්ෂකයන්ට ද එසේමය.

නියමාකාර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව යනු මෙවැන්නකි. එංගලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව වැනි රටවල් මෙය හොඳින් ග්‍රහණය කරගෙන ඇති නමුත් ආසියානුවන් තවමත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ කෙළ පැමිණියන් නොවේ. එය දඟපන්දු යවන්නෙකු, දෙදෙනෙකු යොදා ගැනීමෙන්ම පමණක් හෝ පිතිකරණ පාරාදීසයක හරඹ පෙන්වීමෙන්ම පමණක් එළිය නොවේ.

උපක්‍රමශීලී වන අතරම තැනට සුදුසු නුවණ යොදාගත යුතුය. දැනට ක්‍රියාත්මක ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය තුළ ද අප දැකීමට සතුටුවන්නේ මෙවන් වේගපන්දුකරණයකි. එහෙත් ඉන්දියාව වැනි රටක තණතිලි මත වේගපන්දුවෙන් වැඩ පෙන්වීම පහසු නැත.

ඔබට සුන්දර වෛරක්කාරයන්ගේ සුන්දර ටෙස්ට් තරගාවලියක් නැරඹීමට අවශ්‍ය නම්, එළඹෙන 2 වනදා ඇරඹෙන 2017/18 අළු බඳුන දෙවන ටෙස්ට් තරගය ගැන මඳක් විමසිල්ලෙන් සිටින්න. ගැලරියේ ප්‍රේක්ෂකයෙකු නොවී සම්භාවනීය ප්‍රේක්ෂකයෙකු වන්න. හාමිසන්ගේ ගිනිබෝල සහ පොන්ටින්ගේ රුධිරය අපට මතක් කර දෙන්නේ එයයි.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<