“Tendulkar පිට දඟපන්දුවලට දුර්වලයි” – මුරලි

6216

ඉන්දීය ක්‍රීඩක Sachin Tendulkar පිට දඟපන්දු හමුවේ තරමක් දුර්වල බව ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලු ලාභී මුත්තයියා මුරලිදරන් පවසා තිබෙනවා.

ලෝක ක්‍රිකට් ක්‍රීඩාව තුල බි හිවූ ශ්‍රේෂ්ඨතම පන්දු යවන්නා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. එමෙන්ම ලොව ශ්‍රේෂ්ඨතම පිතිකරුවා ලෙස අසල්වැසි ඉන්දියාව නියෝජනය කළ Sachin Tendulkar හැඳින්විය හැක. 

1990 දශකය හා 2000 දශකය තුල එතෙක් මෙතෙක් ක්‍රිකට් ක්‍රීඩාවේ බිහි වී තිබූ සියලු වාර්තා අලුත් කිරීමට ඔවුන් දෙදෙනා සමත් වුනා. ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර තරගවල දී ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන්ගේ වාර්තා අසලට පැමිණීමට කිසිදු ක්‍රීඩකයෙකු තවමත් සමත්නොවීම එම වාර්තාවල ප්‍රබලත්වය මනාව පෙන්වන කරුණක්. 

Sachin Tendulkar ලොව වැඩිම ලකුණු ලාභියා ලෙස වාර්තා පොත් අතර සටහන් වන අතර ශතක 100ක් තම නම ඉදිරියේ සටහන් කර ගත් එකම ක්‍රීඩකයා ලෙස ද ඔහු තවමත් පෙරමුණේ පසුවනවා.

ලොව ප්‍රබලතම පිතිකරුවා සහ පන්දු යවන්නා ලෙස ඔවුන් දෙදෙනා වාර ගණනාවක් එකිනෙකා සමඟින් සටන් වැදී තිබෙනවා. කොපමණ කාලයක් ගතවූවද ඔවුන් දෙදෙනා ක්‍රීඩා කරන විට පිටියේ උණුසුම නම් අඩුවන්නේ නැහැ. 

තවත් ක්‍රිකට් පුවත්:

ESPNcricinfo වෙබ් අඩවිය සමඟින් පසුගිය දා සාකච්ඡාවකට එක්වෙමින් මුත්තයියා මුරලිදරන් සිය ශ්‍රේෂ්ඨතම ප්‍රතිවාදියා වන Sachin Tendulkar පිළිබඳව අදහස් දක්වා සිටියා.

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන Aakash Chopra විසින් මෙහෙයවූ මෙම වැඩසටහනේ දී මුරලිදරන් සුවිශේෂී මතක කීපයක් සිහිපත් කර තිබුණා. එහි දී ඔහු පවසා සිටියේ Sachin Tendulkar කෙතරම් ප්‍රබල වුවත් ඔහු පිට දඟපන්දු (off-spin) හමුවේ තරමක් දුර්වල පිතිකරුවෙකු බව තමන්ට හැඟුණු බවයි.

“Sachin ගැන ගත්තම මම ඔහුට පන්දු යවන්න කිසිම වෙලාවක බය නැහැ. ඔහු අපිට රිදවන පිතිකරුවෙක් නෙමෙයි. Shewag වගේ ක්‍රීඩකයෙක් ගත්තම ඔහු පන්දු යවන්නන්ට රිදෙන්න පහර දෙන කෙනෙක්. Sachin වෙනස්. ඔහු උත්සාහ කරනවා ඔහුගේ කඩුල්ල ආරක්ෂා කරගන්න. ඔහු හැම පන්දුවක්ම නිවැරදිව හඳුනාගෙන ක්‍රීඩා කරන කෙනෙක්. ඔහු දන්නවා එක් එක් පන්දුවට ක්‍රීඩා කරන්න ඕනේ ක්‍රමය.”

“මගේ ක්‍රීඩා දිවිය තුල මට දැනුණා සචින්ට පිට දඟපන්දුවලට ක්‍රීඩා කරන්න අමාරුයි කියලා. පා දඟපන්දුවලට ඔහු ඉතාමත් හොඳින් පහර දෙනවා. ඒත් පිට දඟපන්දු හමුවේ ඔහු ටිකක් කලබල වෙනවා. මම ඔහුව  පිට දඟපන්දුවලින් බොහෝ අවස්ථාවල දවාගෙන තියනවා. මම දැකලා තියනවා ගොඩක් පන්දු යවන්නන් පිට දඟපන්දුවලින් ඔහුව දවා ගන්නවා.”

“මම හරියටම දන්නේ නැහැ. මම ඔහු එක්ක මේ ගැන කතා කරලා නැහැ. මම ඔහුගෙන් අහලා නැහැ ඔහු පිට දඟපන්දුවලට දුර්වල ඇයි කියලා. ඒක මට තේරුණ දෙයක්. සචින්ගේ දුර්වලතාවය මට තේරුණ නිසා තමයි මම සාර්ථක වුනේ. ඔහු අමාරු පිතිකරුවෙක්. ඔහුව දවා ගන්න එක ගොඩක් අමාරු දෙයක්”, මුරලිදරන් තවදුරටත් පවසා සිටියා.

“Shewag වෙනස් ක්‍රීඩකයෙක්. ඔහුට පන්දු යවද්දී අපි පන්දු රකින්නන් ඈතින් තියන්නේ. මම දන්නවා ඔහු අවස්ථාවක් ලැබුණ ගමන් විශාල පහරකට යනවා කියලා. ඔහු දන්නවා ඔහුගේ හැකියාවන් සහ දුර්වල තැන්. ඔහුගේ දවසෙදී ඔහු ඕනෑම කෙනෙක්ට පහර දෙනවා”, මුරලිදරන් පවසා සිටියා.

මුරලිදරන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 350ක්, ටෙස්ට් තරග 133 ක් ක්‍රීඩා කර තිබෙනවා. එහි දී එක්දින කඩුලු 534 ක් සහ ටෙස්ට් කඩුලු 800ක් තම නම ඉදිරියේ සටහන් කර ගැනීමට ඔහු සමත් වුනා.

Sachin Tendulkar එක්දින තරග 463කට සහ ටෙස්ට් තරග 200කට සිය දායකත්වය දක්වා ඇති අතර එක්දින ශතක 49ක් සමඟින් ලකුණු 18426ක් සහ ටෙස්ට් ශතක 51ක් සමඟින් ලකුණු 15921ක් රැස්කර ගැනීමට ඔහු සමත් වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<