හිමේෂ් රාමනායක Blues ක්‍රීඩකයෝ නිල් කරයි

Dialog-SLC ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2021

2499

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Dialog-SLC ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන සිව්වැනි දිනය වූ අද (18) දවසේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් වීමට දකුණතින් මද වේගපන්දු යවන 23 හැවිරිදි යොවුන් ක්‍රීඩක හිමේෂ් රාමනායක සමත් වුනා. 

SLC Reds කණ්ඩායම නියෝජනය කරමින් ඔහු SLC Blues කණ්ඩායමට එරෙහිව ලකුණු 31කට කඩුලු 4ක් දවා ගත්තා. එය මේ තරගාවලියේ මෙතෙක් වාර්තා කරන ලද හොඳම පන්දු යැවීම වන අතර එය ඔහුගේ විස්සයි විස්ස පිටියේ හොඳම පන්දු යැවීම බවට ද පත් වුනා. 

අද තරගාවලියේ දිවා තරගය ලෙසින් SLC Reds සහ SLC Blues අතර පැවති අතර ඉන් ජයග්‍රහණය කිරීමට SLC Reds ක්‍රීඩකයෝ සමත් වූ අතර රාත්‍රි පැවති SLC Greys සහ SLC Greens අතර තරගයෙන් SLC Greys කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

මෙම තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. 

SLC Reds සහ SLC Blues

තරගාවලියේ 7 වැනි තරගය ලෙසින් ක්‍රියාත්මක මෙම තරගයෙන් කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට SLC Reds ක්‍රීඩකයෝ සමත් වුනා. මීට පෙර ඔවුන් මෙම තරගාවලියේ දෙවැනි තරගයේ දී හමු වූ අතර එහි දී SLC Blues ක්‍රීඩකයෝ SLC Reds ක්‍රීඩකයන්ට එරෙහිව ලකුණු 56ක ජයග්‍රහණයක් වාර්තා කළා. 

අද තරගයේ කාසියේ වාසිය දිනා ගත් SLC Reds නායක දිනේෂ් චන්දිමාල්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි SLC Blues ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 146ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි SLC Reds ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 148ක් ලබා ගනිමින් එම ඉලක්කය පසු කළේ තවත් පන්දු 6ක් ඉතිරිව තිබිය දී.

SLC Reds වෙනුවෙන් නායක චන්දිමාල් පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 56ක් ලබා ගනිමින් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළා. ඔහු ඕෂඳ ප්‍රනාන්දු හා එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 54ක සබඳතාවක් ද එක් කළා. ඕෂඳ ලබා ගත් ලකුණු සංඛ්‍යාව 27ක්. ඒ වෙනුවෙන් ඔහු පන්දු 23කට මුහුණ දුන් අතර හතරේ පහර 3ක් එම ඉනිමට ඇතුළත් වුනා. 

ඉනිම ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී අසේල ගුණරත්න පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවි ලකුණු 23ක් ද, චාමික කරුණාරත්න පන්දු 12ක දී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 16ක් ද ලබා සිටියා. 

SLC Reds කණ්ඩායමේ දැවි ගිය කඩුලු 4, මහීෂ තීක්ෂණ, ඩිල්ශාන් මධුශංක, ප්‍රවීන් ජයවික්‍රම සහ ලහිරු සමරකෝන් අතර බෙදී ගියා. 

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි SLC Blues වෙනුවෙන් ආරම්භක පිතිකරු ධනංජය ලක්ෂාන් පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තා. ඔහු සධීර සමරවික්‍රම (15) සමඟ පළමු කඩුල්ලට ලකුණු 36ක සබඳතාවක් ද, නිශාන් මධුශ්ක (25) සමඟින් දෙවැනි කඩුල්ලට ලකුණු 56ක සබඳතාවක් ද එක් කිරීමට සමත් වුනා. 

හිසරදයක් වෙමින් තිබූ එම ලකුණු සබඳතාව බිඳ දැමූ හිමේෂ් රාමනායක එම පන්දු වාරයේ ඊට පසුව යැවුණ දෙවැනි පන්දුවේ දී නායක ධනංජය ද සිල්වා තමන් මුහුණ දුන් පළමු පන්දුවේ දී ම නැවත ක්‍රීඩාගාරයට හරවා යමින් කඩුලු දඩයම පටන් ගත්තා. අනතුරුව ඔහු ධනංජය ලක්ෂාන් සහ සහන් ආරච්චිගේ (9) ද තම ග්‍රහණයට ගත්තා. 

පසු පෙළ නියෝජනය කරමින් පිටියට පිවිසි ලහිරු සමරකෝන් පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 35ක් ලබා ගත්තා. 

කඩුලු දවා ගැනීමේ දී හිමේෂ්ට අමතරව චාමික කරුණාරත්න කඩුලු 2ක් දවා ගත්තා. 

  • SLC Blues; කඩුලු 7ක් දැවී 146 (20) ධනංජය ලක්ෂාන් 55, නිශාන් මධුශ්ක 25, ලහිරු සමරකෝන් නොදැවී 35, චාමික කරුණාරත්න 2/37, හිමේෂ රාමනායක 4/31
  • SLC Reds; කඩුලු 4ක් දැවී 148 (19) දිනේෂ් චන්දිමාල් 59, ඔෂඳ ප්‍රනාන්දු 27, අසේල ගුණරත්න නොදැවී 23, චාමික කරුණාරත්න නොදැවි 16

 

SLC Greys සහ SLC Greens

මෙම තරගාවලියේ 8 වැනි තරගය ලෙසින් ක්‍රියාත්මක මෙම තරගයේ දී SLC Greys අපරාජිතව සිව්වැනි දිනටත් තරග බිමට පිවිසියා. තරගාවලිය ආරම්භ කරමින් SLC Greys සහ SLC Greens අතර පැවති තරගයෙන් ලකුණක තියුණු ජයග්‍රහණයක් හිමිකර ගත්තේ SLC Greys කණ්ඩායමයි. 

අද තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් SLC Greens නායක අශාන් ප්‍රියන්ජන්ගේ තීරණය වූයේ පන්දු යැවීමයි. ඒ අනුව ඔහු ප්‍රතිවාදී දසුන් ශානකගේ SLC Greys කණ්ඩායමට පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළ ද ඔවුන්ට නියමිත වේලාවට පිටියට පිවිසීමට හැකි වූයේ නැහැ. 

ඒ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට ඇද වැටුණ වර්ෂාව හේතුවෙන්. මේ නිසා තරගය පැයකට අධික කාලයක් ප්‍රමාද වූවා. අනතුරුව තරගය ආරම්භ වූයේ පන්දුවාර 13ක තරගයක් ලෙසින්. ඒ අනුව පිටියට පිවිසි SLC Greys  ක්‍රීඩකයෝ පන්දුවාර 3.4ක් ක්‍රීඩා කරමින් සිටිය දී නැවත වර්ෂාව පතිත වීමෙන් තරගය තාවකාලිකව නතර කිරීමට සිදු වූවා. ඒ වෙද්දී ඔවුන් කඩුලු 3ක් දැවී ලකුණු 43ක් ලබා සිටියා. 

වර්ෂාවෙන් අනතුරුව නැවත තරගය ආරම්භ වෙන්නේ පන්දුවාර 10ක තරගයක් ලෙසින්. ඒ අනුව පිතිකරණයේ යෙදුණ SLC Greys ක්‍රීඩකයෝ ඉනිම අවසන් කරද්දී කඩුලු 3ක් දැවී ලකුණු 137ක් ලබා සිටියා. එහි දී නායක දසුන් ශානක පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 55ක් ලබා සිටියා. 

ඔහු තම අර්ධ ශතකය පන්දු 21ක දී වාර්තා කරමින් මෙවර තරගාවලියේ වේගවත් ම අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුනා. ඔහුත් සමඟ අනෙක් අන්තයෙන් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු කමිල් මිශාර පන්දු 24ක දී හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 46ක් ලබා සිටියා. ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලට නොබිඳුණ සබඳතාව ලකුණු 94ක්. 

විශ්ව ප්‍රනාන්දු ලකුණු 25කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර රමේෂ් මෙන්ඩිස් ද කඩුල්ලක් දවා ගත්තා. 

වර්ෂාව හේතුවෙන් වෙනස් වූ ලකුණු පුවරුව අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව SLC Greens කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ ලකුණු 135ක් පමණයි. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට ද වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට ඉඩ ලැබුණේ නැහැ. 

පන්දු 4ක් පමණක් යවා තිබූ අවස්ථාවේ වට වැස්ස හේතුවෙන් නැවත තරගය නතර කිරීමට පිටියේ විනිසුරුවන්ට සිදු වුනා. ඒ වෙද්දී ඔවුන් කිසිවෙක් නොදැවී ලකුණු 20ක් ලබා සිටියා. කෙසේ වෙතත් නැවත තරගය ආරම්භ වූයේ පන්දුවාර 8ක තරගයක් ලෙසින්. ඒ අනුව SLC Greens කණ්ඩායමේ ජයග්‍රහණයට අවශ්‍ය වූයේ ලකුණු 111ක් පමණයි. 

ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් ලකුණු 35 දී කඩුල්ල අහිමි වෙද්දී ඉන් ලකුණු 33ක් ම ලබා සිටියේ ලහිරු උදාරයි. ඔහු ඒ සඳහා වැය කළේ පන්දු 10ක් පමණක් වන අතර ඊට හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් ඇතුළත් වුනා. ඔහුට අමතර ව පැතුම් නිස්සංක ද පන්දු 12ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා. 

පන්දුවාර 5.3ක් යවමින් සිටිය දී නැවත වතාවක් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර එය ඉන් පසුව තරගය ආරම්භ කිරීමට නොහැකි තරමට උත්සන්න වූවා. ඒ වෙද්දී SLC Greens ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 69ක් ලබා සිටි අතර එය තරගයෙන් ජයග්‍රහණය ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් වූයේ නැහැ.

ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ඔවුන් තරගයෙන් ජයග්‍රහණය කිරීමට නම් එම අවස්ථාවේ දී ලකුණු 74ක් ලබා සිටිය යුතු වූවා. ඒ අනුව SLC Greys කණ්ඩායමට එම තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 4ක ජයග්‍රහණයක් හිමි වූවා. මෙම පරාජයත් සමඟින් SLC Greens කණ්ඩායම මෙම තරගාවලියේ කිසිදු තරගයක් ජයග්‍රහණයක් ලබා ගැනීමට මේ දක්වා සමත් වූයේ නැහැ.

තරගය නිමා වෙන විට චතුරංග ද සිල්වා ලකුණු 21කට කඩුලු 2ක් දවාගෙන තිබුණා. 

  • SLC Greys; කඩුලු 3ක් දැවී 137 (10) ලසිත් කෘaස්පුල්ලේ 17, කමිල් මිෂාර නොදැවී 46, දසුන් ශානක නොදැවී 55, විශ්ව ප්‍රනාන්දු 2/25
  • SLC Greens; කඩුලු 3ක් දැවී 69 (5.3) ලහිරු උදාර 33, පැතුම් නිස්සංක 21, චතුරංග ද සිල්වා 2/21

හෙට (19) තරගාවලියේ තවත් විවේක දිනයක් වන අතර නැවත තරගාවලිය අගෝස්තු 20 වැනිදා පස්වැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි. එහි දී තරගාවලියේ 9 වැනි තරගය දිවා තරගයක් ලෙසින් පැවැත්වෙන්නේ SLC Blues සහ SLC Greens  අතරයි. රාත්‍රි තරගය තරගාවලියේ 10 වැනි තරගය වන අතර එය SLC Greys සහ SLC Reds අතර පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<