T20 ලෝක කුසලානයට යන ඕස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ

1403

2021 විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වන ඕස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබෙනවා. ප්‍රබල තරු රැසකින්ම සමන්විත ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස කණ්ඩායම සුපිරි පිතිකරු Steve Smith ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්. කණ්ඩායම මෙහෙයවන්නේ Aaron Finch විසිනුයි.

ආබාධවලින් සුවය ලබා Finch හා Smith නැවත කණ්ඩායම හා එක්ව තිබෙන අතර බංග්ලාදේශ හා කැරිබියන් සංචාරවලට සහභාගී නොවුණු David Warner, Glenn Maxwell, Marcus Stoinis, Pat Cummins හා Kane Richardson ද නැවතත් කණ්ඩායමේ අසුන් වෙන් කරගෙන තිබෙනවා.

තවමත් විස්සයි විස්ස ලෝක කුසලානයක් දිනාගෙන නැති ඕස්ට්‍රේලියානු කණ්ඩයම පසුගිය මාස කිහිපයේ දී විස්සයි විස්ස පිටියේ එතරම් දස්කම් දක්වන්නට සමත් වුනේ නැහැ. ඔවුන් අවසානයට ක්‍රීඩා කළ විස්සයි විස්ස තරගාවලි පහම පරාජය වී තිබීම විශේෂත්වයක්. ඉන් අවසාන තරගාවලි තුනටම ඔවුන්ගේ ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙක් එක්වුණේ නැහැ.

Warner, Finch, Smith, Maxwell හා Stoinisට අමතරව Mitchell Marsh, Matthew Wade හා Josh Inglis ද කණ්ඩායම කැඳවා තිබෙනවා. Inglis තවමත් ජාත්‍යන්තර වරම් දිනා නැති නමුත් ආරම්භක පිතිකරුවෙක් ලෙස මෙන්ම මැදපෙළ ද ක්‍රීඩා කළ හැකි කඩුලු රකින පිතිකරුවෙක් ලෙස ඔහු නමක් දිනා සිටිනවා. Inglis ගේ කැඳවීමත් සමඟ Alex Carey හා Josh Philippe ට කණ්ඩායමේ ස්ථාන අහිමි වී තිබීම විශේෂත්වයක්.

“Josh දිහා දිගු කාලයක් අපි බලන් හිටියා. සීමිත පන්දුවාර ආකෘතියේ ඔහුගේ දක්ෂතා හා Vitality Blast තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ඔහු දැක්වූ දක්ෂතා අපි දැක්කා”, ඕස්ට්‍රේලියානු තේරීම් කමිටු ප්‍රධානි George Bailey පවසා සිටියා.

Carey හා Philippe සමඟම Moises Henriques, Ashton Turner හා Andrew Tyeට ද කණ්ඩයමේ ස්ථානය අහිමිව ගොස් තිබෙනවා. අතිරේක ක්‍රීඩකයින් ලෙස Dan Christian, Daniel Sams හා වේගපන්දු යවන ක්‍රීඩක Nathan Ellis නම් කර තිබෙනවා.

පන්දු යවන්නන් මෙහෙයවීම Cumminsට හිමි වී තිබෙන අතර  Mitchell Starc, Josh Hazlewood හා Kane Richardson වේගපන්දු යවන්නන් ලෙස කණ්ඩායම හා එක්වෙනවා. දඟපන්දු යවන්නන් ලෙස Adam Zampa, Ashton Agar හා Mitchell Swepson ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරගාවලියට එක්වන ඕස්ට්‍රේලියානු සංචිතය: Aaron Finch (නායක), Ashton Agar, Pat Cummins (උප නායක), Josh Hazlewood, Josh Inglis, Mitchell Marsh, Glenn Maxwell, Kane Richardson, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, Mitchell Swepson, Matthew Wade, David Warner, හා Adam Zampa

ICC ඇසුරෙන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<