Dialog-SLC ආරාධිත T20 තරග කාලසටහනේ වෙනසක්

Dialog-SLC ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය

2881

Dialog-SLC ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන තරමක් වෙනස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ ක්‍රීඩකයින් ලැඟුම් ගෙන සිටි හෝටලයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 14 දෙනෙකුට COVID-19 වයිරසය ආසාදනය වී තිබීම නිසයි.

පසුගිය 17 වැනිදා එම හෝටලයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් හට සිදු කළ PCR ප්‍රතිඵල ඊයේ (18) දිනයේ දී පැමිණ තිබෙන අතර එහි දී ඒ බව තහවුරු වී තිබෙනවා. පසුව වහාම ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඊයේ පැවති තරග දෙක නිමා වූ පසු එම ක්‍රීඩකයින් සියලු දෙනාම මහනුවර ප්‍රදේශයේ තිබෙන වෙනත් හෝටල් දෙකකට මාරු කර යවා තිබෙනවා.

එම ක්‍රීඩකයින් සියලුම දෙනා හට අද (19) දිනයේ දී PCR පරීක්ෂණ සිදු කර තිබෙන අතර එහි ප්‍රතිඵල හෙට (20) දහවල් වන විට ලැබීමට නියමිත බව ද දැනගන්නට ලැබෙනවා.

>>Dialog-SLC ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය<<

එම ක්‍රීඩකයින් සියලුම දෙනාගේ PCR ප්‍රතිඵල සාමාන්‍යයි නම්, තරගාවලිය දැනට සැලසුම් කර පරිදි පැවැත්වීමට හැකියාව තිබෙන අතර යම් ක්‍රීඩකයින් ප්‍රමාණයක් හට වයිරසය ආසාදනය වී තිබුණහොත් තරගාවලිය සාර්ථක ලෙස අවසන් කිරීමට එය විශාල බලපෑමක් ඇති කරනු නිසැකයි.

දැනට තිබෙන සිදුවීම් සියල්ල සලකා බලා හෙට (20) පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙකම 21 වැනිදා දක්වා කල් දමා තිබෙන අතර අනෙක් තරග සියල්ල පෙර සැලසුම් කර තිබූ ආකාරයෙන්ම පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙනවා.

Dialog-SLC ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තරග 8ක් අවසානයේ SLC Greys අපරාජිතව ඉදිරියෙන්ම සිටින අතර SLC Blues සහ SLC Reds කණ්ඩායම් පිළිවෙළින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනාගෙන සිටිනවා. SLC Greens තරග 4කට ක්‍රීඩා කර තිබෙන නමුත් ඔවුන් හට තවමත් එකඳු හෝ ජයක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබී නැහැ.

නව තරග කාලසටහන සහ ප්‍රසාද ලකුණු සටහන පහත පරිදි වෙනවා,

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<