Red Roses සමඟ හැප්පෙන්ට Springboks අවසන් සටනට!

88

දහස් සංඛ්‍යාත වේල්ස් ක්‍රීඩාලෝලීන්ගේ අවසන් මහා තරග සිහිනය එක් ක්ෂණයකින් බොඳ කර දැමු ප්‍රබල දකුණු අප්‍රිකාව 2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් දෙක අතරට අද (27) දිනයේ දී සුදුසුකම් ලබා ගත්තේ වේල්සය ලකුණු 19-16ක් ලෙස පරාජයට පත්කරමිනි.

ලෝක ශූරයින්ට මෙල්ල නොවුණු හිරු නොබසින අධිරාජ්‍යයේ විස්කම්!

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ ඔබ අප කවුරුත් ඉතාමත් උනන්දුවෙන් බලා සිටි …

D කාණ්ඩය යටතේ, මූලික වටයේ තමන් සහභාගී වූ සියලුම තරග ජයග්‍රාහී සටහනකින් නිමා කළ වේල්ස් ක්‍රීඩකයින් එහි දී ප්‍රබල ඕස්ට්‍රේලියානු සහ ෆීජී කණ්ඩායම් පරාජයට පත්කරමින් පිළිමළුන් පිටුදැකීමේ වටය සඳහා ඉතාමත් හොඳ අඩිතාලමක් සකසා ගැනීමට සමත් විය. 

ප්‍රංශය සමඟ පැවති සුපිරි අට දෙනාගේ වටයේ තරගය ජය ගැනීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට වේල්ස් ක්‍රීඩකයින් හට සිදු වූ නමුත්, දිනය අවසානයේ දී සටන්කාමී ප්‍රංශ කණ්ඩායම පරාජයට පත්කරමින් එතෙක් රැකගත් තම අපරාජිත වාර්තාව සුරක්ෂිත කරගැනීම ඔවුන් සමත්කම් දැක්විය.

ප්‍රබල All Blacks කණ්ඩායම හමුවේ ලද අවාසනාවන්ත පරාජයත් සමඟින් මෙවර ලෝක කුසලාන ගමන් මඟ ඇරඹූ දකුණු අප්‍රිකානුවන් ඉන් අනතුරුව පැවති සෑම තරගයක දී ම තම අණසක පතුරවාලූයේ ඔවුන් සතු ශක්තිය පිළිබඳ සෙසු කණ්ඩායම් හට පැහැදිලි පණිවිඩයක් ලබා දෙමිනි.

අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේ දී සත්කාරක ජපාන කණ්ඩායම හට අමිහිරි පරාජයක් හිමි කර දුන් නායක Siya Kolisi ප්‍රමුඛ Springbok ක්‍රීඩකයින් වේල්ස් සංග්‍රාමය සඳහා පෙර සුදානම් වූයේ තම තෙවැනි ලෝක කුසලාන සිහිනය යථාර්ථයක් කර ගැනීමේ අරමුණ පෙරදැරි කරගෙනයි. 

සකුරාව හඬවමින් Springboks සහ වේල්සය යෝධ ඉදිරි පියවරක් තබයි

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ අනෙක් අර්ධ අවසන් පූර්ව වටයේ තරග ද්විත්වය අද (20) …

ආරම්භක විනාඩි කිහිපය තුල දී කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් පන්දුව තම ග්‍රහණය යටතට ගැනීම සඳහා කරට කර සටනක නියැලෙනු දැකගන්නට ලැබුණු අතර රාත්‍රි කාලයේ ඇඳ හැලුණු පින්න නිසාවෙන් පන්දු පාලනයේ දී යම් අපහසුතාවන් වලට මුහුණ දීමට ද ඔවුන්ට සිදු විය.

කෙසේ නමුත් එතෙක් වේලාවක් අක්‍රියව තිබූ ලකුණු පුවරුවට ජීවයක් එක් කිරීමට දකුණු අප්‍රිකානු Wing ක්‍රීඩක Handre Pollard සමත් වූයේ වේල්ස් කණ්ඩායම අතින් සිදු වූ අතපසුවීමකින් උදා වූ දඬුවම් පහර තම වාසියට හරවා ගනිමිනි. (දකුණු අප්‍රිකාව 03 – 00 වේල්ස්)

ඉන් අනතුරුව ඔහුගේ ප්‍රතිවාදී නොම්බරය වන වේල්ස් Fly Half ක්‍රීඩක Dan Biggerගේ පාදය ක්‍රියාත්මක වූයේ තරමක් අසීරු කෝණයකින් හිමි වූ දඬුවම් පහර සාර්ථකව ගෝල කණු අතරින් යොමු කරමිනි. (දකුණු අප්‍රිකාව 03 – 03 වේල්ස්)

පිටිය හරහා හමා ගිය සුළං ප්‍රවාහය නිසාවෙන් ඇතැම් අවස්ථාවන් හිදී දෙපිලේම ක්‍රීඩකයින් හට ගුවනේ තිබූ පන්දුව තෝරා බේරා ගැනීමේ දී සහ රැකගැනීමේ දී විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදු වූ අතර වේල්ස් ක්‍රීඩකයින් අතින් සාපේක්ෂව පන්දුව හැසිරවීමේ දී සිදු වූ අඩුපාඩුකම් මෙහි දී වඩාත් කැපී පෙනෙන්ට විය.

පළමු අර්ධය නිමා වන තෙක්ම උත්සාහක දිනුම් රේඛාව අභිබවා ගමන් කරමින් ලකුණු දඩයමෙහි නිරත වීමට දකුණු අප්‍රිකානු සහ වේල්ස් ක්‍රීඩකයින් දැඩි පරිශ්‍රමයක් ගත් නමුත් Handre Pollard විසින් සාර්ථක කර ගත් දඬුවම් පහර දෙකකින් Springbok කණ්ඩායමටත්, Dan Bigger විසින් ගෝල කණු අතරින් පා කර හැරි එක් දඬුවම් පහරකින් වේල්ස් කණ්ඩායමටත් එම කාල සීමව තුල දී සෑහීමකට පත්වීමට සිදු විය. (දකුණු අප්‍රිකාව 09 – 06 වේල්ස්)

පළමු අර්ධය: දකුණු අප්‍රිකාව 09 (3P) – 06 (2P) වේල්සය 

දෙවන අර්ධය ආරම්භ වී විනාඩි 5ක් ගත වීමටත් මත්තෙන් වේල්ස් ලකුණු පුවරුව පෝෂණය කළ Bigger නැවත වතාවක් කණ්ඩායම් දෙකේ ලකුණු පරතරය සම තත්වයට රැගෙන ආවේ තවමත් ඔවුන් තරගය අතහැර නොමැති බවට යම් ඉඟියක් ප්‍රතිවාදීන් වෙත ලබා දෙමිනි. (දකුණු අප්‍රිකාව 09 – 09 වේල්ස්)

තමන් වෙත එල්ල කළ අභියෝගය ඉතාමත් ඉවසිලිමත්ව භාර ගත් දකුණු අප්‍රිකානුවන් ඊට එරෙහිව සාර්ථක ප්‍රතිප්‍රහාරයක් ලබා දුන්නේ Damian De Allende විසින් වේල්ස් ආරක්ෂක පෙළ ක්‍රීඩකයින් සිව්දෙනෙකු පමණ එක පොකුරට ඉවතට ඇඳ දමමින් ධවල රේඛාව අභිබවා දිවයාමත් සමඟිනි. එය ප්‍රවර්තිත උත්සාහක දිනුමක් බවට පරිවර්තනය කළ Pollard ලකුණු තත්වය ඉහළ නංවාලීමට තම දායකත්වය ද සැපයුවේය. (දකුණු අප්‍රිකාව 16 – 09 වේල්ස්)

ඔත්තු බැලීම ඔට්ටු ද? එංගලන්ත පුහුණුකරුගෙන් සැර ප්‍රකාශ කිහිපයක්

මෙවර Webb Ellis ලෝක කුසලානයේ සැබෑ උරුමකරුවා සොයා යන ගමන් මඟේ තීරණාත්මක …

පැමිණ සිටි තම ආධාරකරුවන්ගේ නොමඳ දිරිගැන්වීම් මධ්‍යයේ යලි පන්නරය ලැබූ වේල්ස් ක්‍රීඩකයින් ප්‍රවර්තිත උත්සාහක දිනුමක් වාර්තා කරමින් දකුණු අප්‍රිකාව දෙසට දෝලනය වෙමින් තිබූ තරගයේ ජයග්‍රහණය නැවත වතාවක් දෙපිලටම විවෘත කරදීමට සමත් විය. පිටියේ වම් පස අන්තයෙන් උත්සාහක දිනුම් රේඛාව තරණය කළ Josh Adams එසේ වේල්ස් ගිණුමට ලකුණු හර කරද්දී Halfpenny අමතර ලකුණු ද්විත්වය ද දිනා දීමට කටයුතු කළේය. (දකුණු අප්‍රිකාව 16 – 16 වේල්ස්)

තීරණාත්මක 76 වැනි මිනිත්තුවේ දී විනිසුරු Garces විසින් වේල්ස් ක්‍රීඩකයෙකු off-side ස්ථානයක සිට අමතර වාසියක් ලබා ගැනීමට උත්සාහ කරනු හඳුනා ගැනීමත් සමඟම දකුණු අප්‍රිකානුවන් වෙත පන්දුව භාර කෙරුණු අතර දෙවරක් නොසිතා දඬුවම් පහර අවස්ථාව වෙත ගමන් කළ ඔවුන් Handre Pollard කෙරෙහි විශ්වාසය තබමින් එහි වගකීම ඔහු වෙත පැවරිණි. 

දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් ඇතුළු සියලුම Springbok ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරමින් පන්දුව නිසියාකාරව ගෝල කණු අතරින් යොමු කළ Pollard එසේ තම කණ්ඩායම අවසන් මහා තරගය දක්වා රැගෙන යාම වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන ලදි. (දකුණු අප්‍රිකාව 19 – 16 වේල්සය)

අවසන් පූර්ව වටයේ දී පරාජයට පත් වූ All Blacks සහ වේල්ස් කණ්ඩායම් එළඹෙන සිකුරාදා (1) දිනයේ දී තෙවැනි ස්ථානය උදෙසා ක්‍රියාත්මක වන තරගයේ දී එකිනෙකා මුණගැසීමට දින නියම කරගනිද්දී, මෙවර ලෝක කිරුළේ හිමිකරුවන් කවුරුන් දැයි තීරණය කරන ඓතිහාසික අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට එංගලන්තය සහ දකුණු අප්‍රිකාව සමත් විය. 

එම තරගය එළඹෙන සෙනසුරාදා (2) මෙරට වේලාවෙන් ප.ව 2.30ට ජපානයේ යොකොහෝමා ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට සියල්ල සූදානම් වෙමින් පවතී.

අවසන් ලකුණු තත්වය: දකුණු අප්‍රිකාව 19 (1T,1C,4P) – 16 (1T,1C,3P) වේල්සය 

තරගයේ වීරයා – Handre Pollard (දකුණු අප්‍රිකාව)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • දකුණු අප්‍රිකාව – Damian De Allende (1T), Handre Pollard (4P,1C)
  • වේල්සය – Josh Adams (1T), Dan Bigger (3P), Leigh Halfpenny (1C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<