2022ට යෝජිත රග්බි කැලැන්ඩරේ

330

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ තරගාවලි සංවිධායක කමිටුවේ සභාපති වන නසීම් මොහොමඩ් විසින් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම 2022 වසරේ දී සහභාගී වීමට නියමිත තරග ඇතුළත් යෝජිත රග්බි කැලැන්ඩරය ඊයේ (22) ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම කැලැන්ඩරයට අනුව 2022 වසරේ දී ප්‍රධාන පෙළේ දේශීය තරගාවලි 7ක් පැවැත්වීමට නියමිත අතර ඊට අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය 2ක් ඇතුළත්. එහි දී අන්තර් සමාජ සත් සාමාජික කාන්තා සහ පිරිමි තරගාවලි දෙකක් ජනවාරි සහ ජුනි මාසවල දී පැවැත්වීමට නියමිත අතර 21න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියක් අගෝස්තු මාසයේ දී ද පැවැත්වීමට නියමිතයි.

කොරෝනා වසංගතය නිසාවෙන් අතහැර දැමුණු 2019/20 සහ 2020/21 අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය එළඹෙන වසරේ පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත අතර එය අප්‍රේල් මාසය දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි. ඉන්පසුව Clifford Cup knockouts තරග වටය මැයි මාසයේ දී පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සහභාගී වීමට නියමිත ප්‍රධාන ජාත්‍යන්තර තරගාවලි දෙක වන පොදුරාජ්‍ය මණ්ඩලීය සහ ආසියානු තරගාවලිය පිළිවෙළින් එංගලන්තය සහ චීනයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල දීයි.

ThePapare.com වෙත අදහස් දැක්වූ තරගාවලි සංවිධායක කමිටුවේ සභාපති නසීම් මොහොමඩ් තහවුරු කර සිටියේ, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා රග්බි කමිටු රැස්වීමට මෙම රග්බි කැලැන්ඩරය ඉදිරිපත් කිරීමට නියමිත බවත්, තරගාවලිය සඳහා දායකත්වය සපයන සියලුම පාර්ශවකරුවන්ගේ අදහස් සහ ප්‍රතිචාර එහි දී විමසීමට ලක් කිරීමට නියමිත බවයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<