පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් රු. මිලියන 47ක්

120

ශ්‍රී ලංකා පැරාලිම්පික් කමිටුවේ ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරගාවලි ජයග්‍රහණ හරහා මෙරටට පදක්කම් ලබා ගැනීමේ හැකියාව ඇති බව මහේල ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ජාතික ක්‍රීඩා සභාව සහ ඉහළ කාර්ය සාධන කමිටුව විසින් නිර්දේශ කර තිබේ. 

ඒ අනුව, පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා පැරාලිම්පික් කමිටුව සමඟ ගිවිසුම්ගතවීම තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (14) ජාතික ක්‍රීඩා සභාවේ දී සිදු විය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම ගිවිසුම්ගතවීම හා මූල්‍ය ප්‍රදානය සිදු වේ.

ජාත්‍යන්තර ජයග්‍රහණ සඳහා පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඉහළ දක්ෂතා ඔප්නංවමින් පුහුණු ඔවුන්ගේ පුහුණු කටයුතු හා සුබසාධන කටයුතු වෙනුවෙන් රුපියල් 47,454,725/-ක මුදලක් ශ්‍රී ලංකා පැරාලිම්පික් කමිටුව වෙත මෙම ගිවිසුමට සමගාමීව ප්‍රදානය කෙරිණි.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා සහ ශ්‍රී ලංකා පැරාලිම්පික් කමිටුවේ සභාපති ලුතිනන් කර්නල් දීපාල් හේරත් මහතා අදාළ ගිවිසුමට අත්සන් තැබූහ.

නිසි පුහුණුව හා දිරිගැන්වීම් මත ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල මෙරට පැරාලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විශ්වාසය පළකරමින් පැවසීය.

මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්ම මහත්මීන් සහ ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා පැරාලිම්පික් කමිටුවේ නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් ද සහභාගි වූහ.

*සැ.යු – මෙය ක්‍රීඩා අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය විසින් එවනු ලැබූ මාධ්‍ය නිවේදනයකි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<