උදාර සහ රොෂේන් සැරසන්ස් ජයග්‍රහණ බලාපොරොත්තු දුරස් කරයි

946
SLC Premier League 2016/17 Tier A

දේශීය පිටියේ සුපිරි තරු හඳුනා ගැනීම සඳහා පැවැත්වෙන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ අද (15) පැවති තරග සංඛ්‍යාව 5කි. සමස්තයක් වශයෙන් අද දිනය පන්දු යවන්නන්ට වඩා පිතිකරුවන් දක්ෂතා අතරට පැමිණි දේශීය ක්‍රිකට් පිටියට ශතක වැස්සක් ඇද හැලුණු දිනයක් බවට පත්විය.

පසුගිය ලිපි: සංගීත්ගේ දැවැන්ත ඉනිම නිසා සැරසන්ස් ජය මාවතට

සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගය

ඊයෙ දිනය නිමාවන විට කඩුලු 7ට ලකුණු 370ක් ලෙස දිස්වූ සැරසන්ස් ලකුණු පුවරුව අද ලකුණු 401කට සීමා කරන්නට රාගම පන්දු යවන්නන් සමත් විය. සැරසන්ස් ඉනිම දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය සංගීත් කුරේ ලකුණු 189ක් ද, කෞෂල්‍ය ගජසිංහ ලකුණු 99ක් ද රැස් කළහ. පන්දුවෙන් දස්කම් දැක්වූ අමිල අපොන්සු ලකුණු 100ට කඩුලු 4ක් බිඳ හෙලීය.

පිලිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසුණු රාගම පිතිකරුවන්ගෙන්ද පෙන්නුම් කෙරුණේ ජවයෙන් පිරුණු සටන්කාමී පිතිකරණයකි. මේ දිනවල ඉතාමත් හොඳ රිද්මයක පසුවන වමත් පිතිකරු උදාර ජයසුන්දර, අද හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 109ක් රැස් කළේය. කලක සිට ටෙස්ට් කණ්ඩායමේ දොරට තට්ටු කරන දක්ෂ ක්‍රීඩකයෙකු වන රොෂේන් සිල්වා අද හතරේ පහර 8ක් සමඟින් ලකුණු 95ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස කඩුල්ල අහිමි කර ගත්තේය. නමුත් ඔවුන් දෙදෙනා අද සිව්වන කඩුල්ල වෙනුවෙන් එක් කල ලකුණු 174ක දැවැන්ත සබඳතාවය සැරසන්ස් ජයග්‍රහණ බලාපොරොත්තු සෑහෙන දුරට ඈත් කරන්නට ප්‍රමාණවත් විය. දෙවැනි දිනය නිමා වනවිට රාගම පිතිකරුවන් කඩුලු 5කට ලකුණු 263ක් ලබමින් සැරසන්ස් පිළට සාර්ථක පිලිතුරක් ලබා දෙමින් සිටියි.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 370 (පන්දුවාර 98.3): සංගීත් කුරේ 189, කෞෂල්‍ය ගජසිංහ 99, සුරාජ් රන්දිව් 29*, ඉරෝෂ් සමරසූරිය 28, මිලින්ද සිරිවර්ධන 22, තිලක්ෂ සුමනසිරි 3/33, අමිල අපොන්සු 4/100.

රාගම ක්‍රිකට් සමාජය – කඩුලු 5ක් දැවී ලකුණු 263 (පන්දුවාර 76.2): උදාර ජයසුන්දර 109, රොෂේන් සිල්වා 95, මොහොමඩ් ඩිල්ශාඩ් 3/43, සුරාජ් රන්දිව් 2/78.


ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය අතර තරගය

තරංග පරණවිතානගේ සහ ජීවන් මෙන්ඩිස්ගේ ශතක වලින් පණ ලැබූ ටැමිල් යූනියන් ප්‍රථම ඉනිම අද දිනය නිමා වනවිට කඩුලු 6කට ලකුණු 397ක් ලෙස සටහන් විය. ඒ අද උදෑසන කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ ප්‍රතිඵලයක් ලෙසයි. දේශීය ක්‍රිකට් පිටියේ කවදත් දස්කම් දක්වන තරංග පරණවිතාන අද හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 100ක් රැස් කල අතර ජීවන් මෙන්ඩිස් ද ඊට නොදෙවෙනි ඉනිමක නිරත වෙමින් ලකුණු 115ක් වාර්තා කරන ලදී. ඔහුගේ අනර්ඝ ඉනිමට හතරේ පහර 12ක් සහ හයේ පහර 6ක් ඇතුළත් විය. ප්‍රථම දිනය නිමා වෙද්දී මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී ලකුණු 82ක් ලබා සිටියි. තික්ෂිල ද සිල්වා සහ මලින්ද පුෂ්පකුමාර මේ වනවිට කඩුලු 2 බැගින් බිඳ හෙලා ඇත.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – කඩුලු 6ක් දැවී ලකුණු 397 (පන්දුවාර 91): ජීවන් මෙන්ඩිස් 115, තරංග පරණවිතාන 100, මනෝජ් සරත්චන්ද්‍ර 82, තික්ෂිල ද සිල්වා 2/45, මලින්ද පුෂ්පකුමාර 2/109.


කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ කොළඹ ක්‍රිකට් සමාජය අතර තරගය

අද ප්‍රථම දිනයට ආරම්භ වූ තවත් තරගයක් වන මෙහි කාසියේ වාසිය CCC පිළට හිමිවිය. ඒ අනුව පන්දු යැවීම තෝරාගත් ඔවුන් ලකුණු 276ක් තුලදී කෝල්ට්ස් පිතිකරුවන් සියලු දෙනාම දවා ගැනීමට සමත් විය. කෝල්ට්ස් ඉනිම වෙනුවෙන් හෂාන් දුමිඳු හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් සමඟික් ලකුණු 105ක් රැස් කල අතර ලහිරු මධුශංක, ලක්ෂාන් සඳකැන් සහ සචිත් පතිරණ අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය. පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන CCC කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 28ක් ලබා සිටිති.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 276 (පන්දුවාර 81.4): හෂාන් දුමිඳු 105, අකිල ධනංජය 42*, සචිත් පතිරණ 3/37, ලහිරු මධුශංක 3/45, ලක්ෂාන් සඳකැන් 3/63.

කොළඹ ක්‍රිකට් සමාජය – කඩුලු 2ක් දැවී ලකුණු 28 (පන්දුවාර 6): රොන් චන්ද්‍රගුප්ත 8*, ලසිත් අබේරත්න 6, නිසල තාරක 2/10.


මුවර්ස් ක්‍රීඩා සමාජය සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය

කාසියේ වාසිය දිනාගත් මුවර්ස් ක්‍රීඩකයින් ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට තීරණය කල අතර දිනය නිමාවන විට ඔවුන් කඩුලු 8කට ලකුණු 320ක් ලබා සිටියි. මුවර්ස් ඉනිමේ ශක්තිය බවට පත්ව සිටින ශානුක දුලාජ් මේ වනවිට හතරේ පහර 16ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 152ක් ලබාගෙන සිටියි. පන්දු යැවීමේදී සීක්කුගේ ප්‍රසන්න කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් විය.

මුවර්ස් ක්‍රීඩා සමාජය – කඩුලු 8ක් දැවී ලකුණු 320 (පන්දුවාර 90): ශානුක දුලාජ් 152*, රුවිඳු ගුණසේකර 45, සීක්කුගේ ප්‍රසන්න 3/111, අසේල ගුණරත්න 2/34.


සිංහල ක්‍රීඩා සමාජය සහ NCC අතර තරගය

කාසියේ වාසිය ජයග්‍රහණය කල SSC කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිස සිටින NCC පිතිකරුවන් දිනය නිමා වනවිට කඩුලු 8ක් දැවී ලකුණු 339ක් ලබා සිටිති. NCC ඉනිම ශතකයකින් සරසන්නට කිසිදු පිතිකරුවෙකු සමත් නොවුනත් බොහෝ පිතිකරුවන් තම යුතුකම් කොටස පිත්තෙන් ඉටුකර දෙනු දක්නට ලැබුණි. NCC ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස චතුරංග ද සිල්වා ලකුණු 95ක් ද, ජෙහාන් මුබාරක් ලකුණු 81ක් ද රැස් කරන ලදී. SSC කණ්ඩායම වෙනුවෙන් කසුන් මධුශංක ලකුණු 65කට කඩුලු 3ක් බිඳ හෙලීය.

NCCකඩුලු 8ක් දැවී ලකුණු 339 (පන්දුවාර 90): චතුරංග ද සිල්වා 95, ජෙහාන් මුබාරක් 81, ෆර්වීස් මහරූෆ් 59, කසුන් මධුශංක 3/65, විමුක්ති පෙරේරා 2/50.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට