Bradby පලිහ රාජකීයයන් රඳවා ගනිද්දී සුපිරි 4 වටයේ තරග ඇරඹේ

Dialog පාසල් රග්බි ලීගය 2023

852

පළමු අදියරේ ලැබූ පසුබෑමෙන් පසුව ත්‍රිත්ව විද්‍යාලය දෙවැනි අදියරේ දී පරාජය කරමින් සුප්‍රකට Bradby පලිහ ආරක්ෂා කර ගැනීමට රාජකීය ක්‍රීඩකයින් පසුගිය දා සමත් වුනා.

Bradby පළමු අදියරේ දී ලකුණු 10-13ක් ලෙස පරාජය වීමෙන් පසු මෙම තරගය ලකුණු 27-17ක් ලෙස ජයග්‍රහණය කරමින් සමස්ත ලකුණු 37-30ක් ලෙස ජයග්‍රහණය තහවුරු කර ගැනීමට රාජකීයයන් සමත් වුනා.

ත්‍රිත්ව විද්‍යාලය මෙම Bradby පලිහ අවසන් වරට ජයග්‍රහණය කර ඇත්තේ 2014 වසරේ වන අතර එයින් පසුව පැවැත්වූ සියලු තරග ජයග්‍රහණය කරමින් සිය පලිහ ආරක්ෂා කර ගැනීමට රාජකීයයන් සමත් වුනා.

පළමු අදියරේ දී ලැබූ ජයග්‍රාහී මානසිකත්වයෙන් මෙම තරගයට පිවිසි ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සචිඳු වනසේකර සමත් වූ අතර එහි ප්‍රවර්තනය ද සාර්ථකව අවසන් කළා.

එයට පිළිතුරු ලෙස රාජකීය ක්‍රීඩක රන්දුල් සේනානායක විසින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූවත්, එහි ප්‍රවර්තනය සාර්ථකව එල්ල කිරීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.

එයින් කෙටි වෙලාවකට පසු ක්‍රියාත්මක වූ සේනානායක සිය දෙවැනි උත්සාහක දිනුම ද වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථකව එල්ල කරමින් තිවෙන් පෙරේරා සිය කණ්ඩායම පෙරමුණට රැගෙන ආවා.

ත්‍රිත්වයින් වෙනුවෙන් පළමු තරගයේ වීරයා වූ ශාන් අල්තාෆ් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු පරතරය අවම කිරීමට සමත් වූවත්, රාජකීය ක්‍රීඩක Faruk Akram උත්සාහක දිනුමක් වාර්තා කරමින් පළමු අර්ධය අවසන් කළා.

දෙවැනි අර්ධය ආරම්භයේම රාජකීය ක්‍රීඩක සවිඳු පතිරණ සිදු කළ වරදක් නිසා හිමි වූ අවස්ථාවක් ප්‍රයෝජනයට ගනිමින් දඬුවම් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ත්‍රිත්ව ක්‍රීඩකයින්ට හැකි වුනේ ලකුණු තත්වය නැවතත් සම කරමිනුයි.

නමුත් සිය ක්‍රීඩාංගණයේ දී ඉහළ දස්කම් පෙන්නුම් කළ සේනානායක දිනයේ තෙවැනි උත්සාහක දිනුම ද වාර්තා කරද්දී, Nabeel Yahiya උත්සාහක දිනුමක් වාර්තා කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා.

තරගය පුරාවට ත්‍රිත්ව ක්‍රීඩකයින් ඉහළ දස්කම් පෙන්නුම් කළත් මෙවර ද Bradby පලිහ සිය පාසලේ රඳවා ගැනීමට රාජකීය ක්‍රීඩකයින්ට හැකි වුනේ සුපිරි නැවත පැමිණීමක් සටහන් කරමිනුයි.

NDB තරගයේ වීරයා – තිවෙන් පෙරේරා (රාජකීය විද්‍යාලය)

අවසන් ලකුණු තත්වය – රාජකීය විද්‍යාලය 27 (5T 1C) – 17 (2T 2C 1P) ත්‍රිත්ව විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්,

  • රාජකීය විද්‍යාලය – රන්දුල් සේනානායක 3T, Faruk Akram 1T, Nabeel Yahiya 1T.
  • ත්‍රිත්ව විද්‍යාලය – සචිඳු වනිගසේකර 1T, ශාන් අල්තාෆ් 1C 1P, PT

Dialog පාසල් රග්බි ලීගයේ සුපිරි හතර දෙනාගේ වටයේ තරග අගෝස්තු 11 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එම වටයේ තරග කාලසටහන මෙසේයි.

  • අගෝස්තු 11 – සාන්ත පීතර විද්‍යාලය සහ සාන්ත අන්තෝනි විද්‍යාලය
  • අගෝස්තු 12 – රාජකීය විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය
  • අගෝස්තු 19 -සාන්ත අන්තෝනි විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය
  • අගෝස්තු 19 – සාන්ත පීතර විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය

Dialog පාසල් රග්බි ලීගය ඇතුළු රග්බි පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<