ත්‍රිත්ව විද්‍යාලය හමුවේ රාජකීයයන් පසු බසියි

Dialog පාසල් රග්බි ලීගය 2023

737

2023  Dialog පාසල් රග්බි ලීගයේ හයවැනි සතියේ තරග පසුගිය දා පවත්වා අවසන් වූ අතර එම සතියේ පැවති තරගවලින් ජයග්‍රහණ ලබා ගැනීමට මහනුවර ත්‍රිත්ව, මහනුවර සාන්ත අන්තෝනි, බම්බලපිටිය සාන්ත පීතර,  මරදාන සහිරා සහ කොළඹ ඩී. එස්. සේනානායක ක්‍රීඩකයින් සමත් වුනා. 

රාජකීය විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය  

පාසල් රග්බි ඉතිහාසයේ සුවිශේෂී තරගාවලියක් වන Bradby පලිහ තරගාවලියේ 77 වැනි අදියරේ පළමු තරගයෙන් රාජකීය ක්‍රීඩකයින් පරදවමින් පෙරළිකාරී ජයක් ලබා ගැනීමට මහනුවර ත්‍රිත්ව ක්‍රීඩකයින් සමත් වුනා.  

ත්‍රිත්ව විද්‍යාලයේ සත්කාරකත්වයෙන් පැවති මෙම තරගයේ පළමු දඬුවම් පහර සත්කාරකයින්ට හිමි වූවත්, එය සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකි වුනේ නැහැ. 

එයින් ප්‍රයෝජන ගත් රාජකීය විද්‍යාලය වෙනුවෙන් Philio Calyanaratne පළමු උත්සාහක දිනුම වාර්තා කරමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළත් එහි ප්‍රවර්තනය අසාර්ථකයි. 

ත්‍රිත්ව ක්‍රීඩකයින් සිය දෙවැනි දඬුවම් පහර අවස්ථාව ද අසාර්ථකව අවසන් කරද්දී, රාජකීය ක්‍රීඩක බුවනෙක සේනානායක දෙවැනි උත්සාහක දිනුම වාර්තා කරමින් සිය කණ්ඩායම පෙරමුණට ගෙන ආවා.  

ලකුණු ලබා ගැනීමට හිමි වූ අවස්ථා රැසක් අසාර්ථක වීමෙන් පසු සිය කණ්ඩායම වෙනුවෙන් ලැබුණු දඬුවම් පහරක් සාර්ථකව අවසන් කිරීමට ත්‍රිත්ව ක්‍රීඩක Shan Althaf සමත් වුනා. 

සිය කණ්ඩායමට අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වූ තිසංග දිසානායක උත්සාහක දිනුමක් වාර්තා කරද්දී, එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට Shan Althafට හැකි වුනේ ලකුණු සංඛ්‍යාව සම කරමිනුයි 

තරගය සමව අවසන් වෙතැයි බොහෝ දෙනා විශ්වාස කරද්දී, රාජකීය විද්‍යාල ක්‍රීඩකයෙකු සිදු කළ වරදක් නිසා හිමි වූ දඬුවම් පහරක් කිසිදු වැරදීමකින් තොරව එල්ල කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීමට යොවුන් ක්‍රීඩක Shan Althafට හැකි වුනා. 

  • NDB තරගයේ වීරයා: Shan Althaf (ත්‍රිත්ව විද්‍යාලය)  

අවසන් ලකුණු තත්වය: රාජකීය විද්‍යාලය 10 (2T) – 13 (1T, 1C, 2P) ත්‍රිත්ව විද්‍යාලය  

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්,  

  • රාජකීය විද්‍යාලය – Philio Calyanaratne 1T, බුවනෙක සේනානායක 1T. 
  • ත්‍රිත්ව විද්‍යාලය – Shan Althaf 1C & 2P, තිසංග දිසානායක 1T. 

ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය  

තියුණු සටනකින් පසුව සාන්ත තෝමස් ක්‍රීඩකයින් 10-13ක් ලෙස පරාජයට පත් කරමින් සුපිරි වටයේ බලාපොරොත්තු ඉහළ නංවා ගැනීමට ඩී. එස්. සේනානායක විද්‍යාල ක්‍රීඩකයින්ට හැකි වුනා. 

සත්කාරක ක්‍රීඩකයින්ට ආරම්භයේ දී පීඩනයක් එල්ල කරමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සාන්ත තෝමස් ක්‍රීඩක නවරත්නට හැකි වූ අතර යෙහාන් බුලත්සිංහලගේ එහි ප්‍රවර්තනය සාර්ථකව අවසන් කළා. 

එයින් මද වේලාවකට පසු තරගය අවතීර්ණ වූ DS ක්‍රීඩකයින් වෙනුවෙන් ජයතු රාජරත්න රාජරත්න උත්සාහක දිනුමක් වාර්තා කළත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට හැකි වුනේ නැහැ.  

නමුත් සිය කණ්ඩායමට අවශ්‍ය පෙරමුණ ලබා දෙමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට DS ක්‍රීඩක තිවෙන් පෙරේරාට හැකි වුනා.  

දෙවැනි අර්ධයේ හිමි වූ දඬුවම් පහරක් එල්ල කරමින් ලකුණු සම කිරීමට සාන්ත තෝමස් ක්‍රීඩක යෙහාන් බුලත්සිංහලගේට හැකි වූවත් ශෙහද උමගිලියගේ දඬුවම් පහරක් එල්ල කරමින් සත්කාරකයින් පෙරමුණට ගෙන ඒමට සමත් වුනා.  

තරගය නැවතත් සම කිරීමට සාන්ත තෝමස් ක්‍රීඩක යෙහාන්ට අවස්ථාවක් හිමි වූවත් දඬුවම් පහර අසාර්ථක කර ගැනීම නිසා තරගයෙන් පරාජය ලබා ගැනීමට සාන්ත තෝමස් ක්‍රීඩකයින්ට සිදු වුනා.  

  • NDB තරගයේ වීරයා: ජයතු රාජරත්න (ඩී. එස්. සේනානායක විද්‍යාලය)  

අවසන් ලකුණු තත්වය: ඩී. එස්. සේනානායක විද්‍යාලය 13 (2T 1P) – 10 (1T 1C 1P) සාන්ත තෝමස් විද්‍යාලය  

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්,  

  • ඩී. එස්. සේනානායක විද්‍යාලයජයතු රාජරත්න 1T, තිවෙන් පෙරේරා 1T, ශෙහද උමගිලියගේ 1P. 
  • සාන්ත තෝමස් විද්‍යාලය – නවරත්න 1T, යෙහාන් බුලත්සිංහලගේ 1C  & 1P. 

සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය  

කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් ලකුණු 26-10ක් ලෙස අමතර ප්‍රසාද ලකුණක් සහිතව පරාජය කරමින් ලීගයේ තවදුරටත් රැඳී සිටීමට මහනුවර සාන්ත අන්තෝනි ක්‍රීඩකයින්ට හැකි වුනා. 

තරගයේ පළමු දඬුවම් පහර වාර්තා කරමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමට කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් සමත් වූවත් එයට පිළිතුරු ලෙස සාන්ත අන්තෝනි ක්‍රීඩක රංදීර් පෙරේරා වාර්තා කළ උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සහන් කීර්තිසිරි විසින් සාර්ථකව අවසන් කළා. 

පළමු අර්ධයේ ලද පෙරමුණට තවත් ඉහළ නංවා ගනිමින් සාන්ත අන්තෝනි කණ්ඩායම වෙනුවෙන් තවත් දඬුවම් පහරක් Rakesh Pillay රැස් කිරීමට සමත් වූවත් එහි ප්‍රවර්තනය සාර්ථක වුනේ නැහැ. 

එයින් කෙටි වේලාවකට පසුව ලබා ගත් පන්දුවක් මීටර් 50ක පමණ දුරක සිට උත්සාහක දිනුම් සීමාව වෙත ගෙන යමින් සිය කණ්ඩායම වෙනුවෙන් තෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සාන්ත අන්තෝනි ක්‍රීඩක රොෂේන් කුමාරට හැකි වුනා. එහි ප්‍රවර්තනය කීර්තිසිරි විසින් සාර්ථකව අවසන් කළා. 

සාන්ත අන්තෝනි කණ්ඩායම වෙනුවෙන් සිව්වැනි උත්සාහක දිනුම තිසර ගලංගේ විසින් වාර්තා කරද්දී, එහි ප්‍රවර්තනය ද සහන් කීර්තිසිරි විසින් සාර්ථකව අවසන් කළේ සිය කණ්ඩායමට ලකුණු 23ක පෙරමුණක් ලබා දෙමිනුයි 

කිංග්ස්වුඩ් ක්‍රීඩකයින්ට තරමක සහනයක් ගෙන දෙමින් Ihsan Inoon උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූවත් තරගයේ වෙනසක් සිදු කිරීමට එය ප්‍රමාණවත් වුනේ නැහැ. 

  • NDB තරගයේ වීරයා: රවිඳු වෙලගෙදර (සාන්ත අන්තෝනි විද්‍යාලය)  

අවසන් ලකුණු තත්වය: සාන්ත අන්තෝනි විද්‍යාලය 26 (4T, 3C) – 10 (1T, 1C, 1P) කිංග්ස්වුඩ් විද්‍යාලය 

ලකුණු රැස් කළ ක්‍රීඩකයින් 

  • සාන්ත අන්තෝනි විද්‍යාලය – සහන් කීර්තිසිරි 3C, Rakesh Pillay 1T, රොෂේන් කුමාර 1T, තිසර ගලංගේ 1T, රංදීර් පෙරේරා 1T.  
  • කිංග්ස්වුඩ් විද්‍යාලයඉමංක ඉෂාර 1C & 1P, Ihsan Inoon 1T. 

ඉසිපතන විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය  

තවත් අමතර ප්‍රසාද ලකුණක් සමඟ වෙස්ලි විද්‍යාලය පරාජය කරමින් පළමු  වටය අපරාජිතව අවසන් කිරීමට වත්මන් ශූර ඉසිපතන ක්‍රීඩකයින්ට හැකි වුනා.  

තරගය ආරම්භයේම සිය ප්‍රබලත්වය පෙන්නුම් කළ ඉසිපතන ක්‍රීඩකයින් වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වුනේ කෙනුල හෙට්ටිආරච්චි විසිනුයි. එහි ප්‍රවර්තනය රිනේෂ් සිල්වාට මඟ හැරී ගියා. 

ඉසිපතන ක්‍රීඩකයින්ට තරමක පීඩනයක් එල්ල කරමින් ලැබූ දඬුවම් පහර දෙකක් සාර්ථක කර ගැනීමට Abdul Haardiට හැකියාව ලැබූ අතර එම ලකුණු සමඟ ඉසිපතනයට වඩා එක් ලකුණක් පෙරමුණ ගැනීමට වෙස්ලි ක්‍රීඩකයින්ට හැකි වුනා.  

නමුත් වෙස්ලි ක්‍රීඩකයින්ගේ සතුට කෙටි වෙලාවකට සීමා කරමින් උත්සාහක දිනුම් දෙකක් සහ ප්‍රවර්තන අවස්ථාවක් සාර්ථකව අවසන් කිරීමට රිනේෂ්ට හැකි වුනේ තරගයේ ප්‍රබල පෙරමුණක් ලබා ගෙනයි.  

දෙවැනි අර්ධය තුළ කැපී පෙනෙන ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට වෙස්ලි ක්‍රීඩක රොද්‍රිගෝට හැකි වූවත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට හැකි වුනේ නැහැ.  

සිය කණ්ඩායම වෙනුවෙන් වගකීම නැවතත් නිවැරදි ඉටු කළ ඉසිපතන නායක නවීන් කණිෂ්ක කණ්ඩායම වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් ලබා ගැනීමට සමත් වෙද්දී, එහි ප්‍රවර්තනය ද රිනේෂ් සාර්ථකව අවසන් කළා. 

  • NDB තරගයේ වීරයා: රිනේෂ් සිල්වා (ඉසිපතන විද්‍යාලය) 

අවසන් ලකුණු තත්වය: ඉසිපතන විද්‍යාලය 24 (4T 2C) – 11 (1T 2P) වෙස්ලි විද්‍යාලය  

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්, 

  • ඉසිපතන විද්‍යාලයකෙනුල හෙට්ටිආරච්චි 1T, රිනේෂ් සිල්වා 2T & 2C, නවීන් කණිෂ්ක 1T.  
  • වෙස්ලි විද්‍යාලය – රොද්‍රිගෝ 1T, Abdul Haardi 1T.  

සාන්ත පීතර විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය  

විද්‍යා විද්‍යාලය හමුවේ ලකුණු 29-0ක පහසු ජයක් ලබමින් අපරාජිතව දෙවැනි වටයට පිවිසීමට සාන්ත පීතර විද්‍යාලයට හැකි වුනා.  

තරගයේ පළමු මිනිත්තුවේ දී ම උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සාන්ත පීතර ක්‍රීඩක දුලාජ් නවෝද්‍යට හැකි වූ අතර එහි ප්‍රවර්තනය ඉතා සාර්ථකව එල්ල කිරීමට කුශාන් තරිඳුට හැකි වුනා.  

සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් දෙවැනි උත්සාහක දිනුම ඒඩ්න් ප්‍රනාන්දු විසින් වාර්තා කිරීමට සමත් වූ අතර වින්ද්‍ය ද මෙල් විසින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කරමින් පළමු අර්ධය අවසන් කළා.  

දෙවැනි අර්ධය තුළ ද සාන්ත පීතර ක්‍රීඩකයින්ට හොඳ ආරම්භයක් ලබා දෙමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට දිනෙත් රණසිංහට හැකි වෙද්දී, එහි ප්‍රවර්තනය සුදේෂ් ජයවික්‍රමට හැකි වුනා. 

තරගය පුරාවට සාන්ත පීතර ක්‍රීඩකයින් පෙන්නුම් කළ දක්ෂ ක්‍රීඩා විලාශය නිසා විද්‍යා විද්‍යාලයට තරගය අවසන් වන තුරුම කිසිදු ලකුණක් වාර්තා කර ගැනීමට හැකි වුනේ නැහැ. 

  • NDB තරගයේ වීරයා: දුලාජ් නවෝද්‍ය (සාන්ත පීතර විද්‍යාලය)  

අවසන් ලකුණු තත්වය: සාන්ත පීතර විද්‍යාලය 24 (5T,2C) – 00 විද්‍යා විද්‍යාලය  

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්, 

  • සාන්ත පීතර විද්‍යාලය : දුලාජ් නවෝද්‍ය 1T, ඒඩ්න් ප්‍රනාන්දු 1T, වින්ද්‍ය ද මෙල් 1T, දිනෙත් රණසිංහ 1T, Suleiman Riaz 1T, සුදේෂ් ජයවික්‍රම 1C, කුශාන් තරිඳු 1C.  

අනුව හයවැනි සතිය අවසන් වන විට සුපිරි වටයේ අසුන් වෙන් කරවා ගැනීමට සාන්ත පීතර විද්‍යාලය, රාජකීය විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලයට හැකිව තිබෙන අතර තවත් එක් කණ්ඩායමකට සුපිරි හතර දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා 

හයවැනි සතිය අවසානයේ ප්‍රසාද ලකුණු සටහන,

Dialog පාසල් රග්බි ලීගයේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<