142 වැනි නිල් මහා සටනට සියල්ල සූදානම්

රාජකීය - සාන්ත තෝමස් නිල් මහා සංග්‍රාමය 2021

195

කොරෝනා වසංගතය නිසාවෙන් අවස්ථා කිහිපයක දී කල් දැමීමට සිදු වූ “142 වැනි රාජකීය – සාන්ත තෝමස් නිල් මහා සටන” හෙට (28) සිට 30 වැනිදා දක්වා කොළඹ SSC පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

මෙවර මේ නිල් මහා සටන සියලුම සෞඛ්‍ය ආරක්‍ෂිත මාර්ගෝපදේශ අනුගමනය කරමින් පැවැත්වෙන නිසාවෙන් කිසිදු ප්‍රේක්ෂකයෙක් හට ක්‍රීඩාංගණයේ සිට තරග නැරඹීමට අවස්ථාව හිමි වන්නේ නැහැ.

පසුගිය මාර්තු මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ නිල් මහා සංග්‍රාමය සඳහා කණ්ඩායම් දෙකම ඉතාමත් හොඳින් සූදානම් වී සිටි නමුත් කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නිසාවෙන් සංග්‍රාමය කල් දැමීමට සංවිධායකයින්ට සිදු වුනා.

ඉන් මාස කිහිපයකට පසුව සංග්‍රාමය නැවතත් පැවැත්වෙන නිසා ක්‍රීඩකයින්ට සුපුරුදු රිද්මයට පැමිණීම අරමුණු කර ගනිමින් සතියකට ආසන්න කාලයක් පුරාවට ඔවුන් ජෛව ආරක්ෂිත බුබුලක් තුල රැඳී සිටිමින් පුහුණුවීම් කටයුතු සිදු කරන්නේ කොළඹ SSC ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමිනි.

වැඩි අවධානයට

කොරෝනා වසංගතය නිසාවෙන් පසුගිය වසරේ දී සම්ප්‍රදායික දෙදින පාසල් ක්‍රිකට් තරගාවලිය නොපැවැත්වුවත්, ඒ වෙනුවෙන් එක්දින තරගාවලියක් බලධාරීන් විසින් සංවිධානය කර තිබුණා.

කෙසේ නමුත් මේ පාසල් ද්විත්වයම දෙදින සුහද තරග කිහිපයකට සහභාගී වුනු අතර රාජකීය විද්‍යාලය තරග 4කට සහභාගී වන විට, සාන්ත තෝමස් විද්‍යාලය තරග 5කට සහභාගී වුනා.

එම දෙදින තරග ආරම්භ කරමින් රාජකීය ක්‍රීඩකයින් සහභාගී වූ පළමු තරගයේ දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව කඩුලු දෙකක් දැවී ලකුණු 403ක් ලබා ගන්නට සමත් වුනා.

එහි දී අහන් වික්‍රමසිංහ සහ සදීෂ රාජපක්ෂ ලකුණු 362ක වාර්තාගත සබඳතාවයක් ගොඩනංවමින් පාසල් ක්‍රිකට් වාර්තා අලුත් කළා. අවසන් දෙදින තරග කිහිපය තුල දී රාජකීය කණ්ඩායමේ පිතිකරුවන්ගෙන් ශතක 4ක් වාර්තා වුනා.

සාන්ත තෝමස් විද්‍යාලය සතු ප්‍රබලම අවිය වන්නේ ඔවුන්ගේ පන්දු යැවීමයි. ඔවුන් සතුව සිටින වමතින් වේගපන්දු යවන යසිරු රොද්‍රිගෝ ප්‍රධානම අවිය වන අතර කැනින්ස්ටන් ගුණරත්නම් සහ දඟපන්දු යවන මහිත් පෙරේරා ද ඔවුන් සතුව සිටින ප්‍රධානතම පන්දු යවන්නන් වෙනවා.

සාන්ත තෝමස් ක්‍රීඩකයින් ක්‍රීඩා කළ දෙදින තරග 5 දී යාපනය සාන්ත ජෝන් විද්‍යාලයට එරෙහිව පූර්ණ තරග ජයග්‍රහණයක් ලබා ගන්නට සමත් වූ නමුත්, අනෙක් තරග සියල්ලම (සාන්ත පීතර, සාන්ත ජෝසප්, ආනන්ද) නිමා වූයේ ජය පරාජයෙන් තොරවයි.

තීරණාත්මක ක්‍රීඩකයින්,

රාජකීයයන් සතුව වර්ණලාභී ක්‍රීඩකයින් 5 දෙනෙකු සිටින අතර ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ සාමාජිකයින් වන අහන් සහ සදීෂ ඔවුන් සතුව සිටින ජාත්‍යන්තර මට්ටමේ පවා අත්දැකීම් බහුල ක්‍රීඩකයින් දෙදෙනෙක් වෙනවා.

රාජකීයයන්ගේ මුල්පෙළ පිතිකරණ ඔවුන් සතුව තිබෙන ප්‍රධානතම තුරුම්පුව වන අතර අහන් අංක 4 ස්ථානය තුල ඉතාමත් හොඳින් ලකුණු ලබා ගනිමින් දස්කම් දක්වා තිබෙනවා.

ඉසිවර දිසානායක මින් පෙර ද නිල් මහා සටන නියෝජනය කළ ක්‍රීඩකයෙක් වන අතර ඔහු මෙවර රාජකීය කණ්ඩායමේ ප්‍රධාන ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කරනවා. එසේම අහන් සහ සදීෂට අමතරව දාසිස් මංචනායක සහ කවිඳු පතිරත්න ද ඔවුන්ගේ මැදපෙළ පිතිකරණය සවිබල ගැන්වීමට සිටින ප්‍රධාන ක්‍රීඩකයින් වෙනවා.

වමතින් දඟපන්දු යවන ගීශාන් බාලසූරිය රාජකීයයින් සතුව සිටින වැඩිම කඩුලු ලාභියායි.  ඔහුගේ අනෙක් සහායක දඟපන්දු යවන්නා වන දකුණතින් පිට දඟපන්දු යවන ප්‍රශාන් කල්හාර දෙවැනි වැඩිම කඩුලු ලාභියා වන අතර ගීශාන් ඉනිම් 7ක දී කඩුලු 17ක් දවා ගන්නා විට, ප්‍රශාන් ඉනිම් 9ක දී කඩුලු 17ක් දවාගෙන තිබෙනවා.

සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම නියෝජනය කරන රයන් ප්‍රනාන්දු සහ යසිරු රොද්‍රිගෝ ජාතික 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින්.

රයන් ඔවුන්ගේ පිතිකරණ අංශයේ සිටින ප්‍රධානතම ක්‍රීඩකයා වන අතර ඔහු මෙවර දෙදින තරගවල ඉනිම් 7ක දී ලබාගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 347ක්. එ් අතරට ශතක දෙකක් සහ අර්ධ ශතකයක් ඇතුළත්.

නායක ශලින් ද මෙල් කණ්ඩායමේ සමබරතාවය රැකගැනීම වෙනුවෙන් සිටින ප්‍රධාන තුරුම්පුවක් වන අතර ඔහු තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්විය හැකි ක්‍රීඩකයෙක්.

සාන්ත තෝමස් විද්‍යාලයේ වැඩිම කඩුලු ලාභියා වන වමතින් දඟපන්දු යවන මනිත් පෙරේරා මෙවර තරගාවලියේ දී ඉනිම් 7ක දී දවාගෙන තිබෙන කඩුලු ප්‍රමාණය 14ක්.

DS සේනානායක සමරු පළිහ වෙනුවෙන් පැවැත්වෙන මේ ඉතිහාසගත ක්‍රිකට් තරගාවලියේ 141 වැනි දිග හැරුම ජය පරාජයෙන් තොරව අවසන් වුවත්, 2019 වසරේ පැවති 140 වැනි නිල් මහා සටන ජයග්‍රහණය කිරීමට සිතර හපුහින්නගේ නායකත්වයෙන් යුත් සාන්ත තෝමස් සංචිතය සමත් වුනා. ඒ අනුව දැනට මේ පලිහ සතුවන්නේ ඔවුන් සතුවයි.

හෙට (28) සිට දින 3ක් මුළුල්ලේ කොළඹ සිංහල ක්‍රිකට් සමාජ පිටියේ (SSC) පැවැත්වීමට නියමිත 142 වැනි නිල් මහා සටන ThePapare.com වෙබ් අඩවිය, ඩයලොග් TV නාලිකා අංක 1 සහ Dialog Viu App හරහා සජීව ලෙස සමීප කිරීමට ThePapare.com සූදානමින් සිටිනවා. රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<