Ross Taylor ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

282
Ross Taylor retires

නවසීලන්තය බිහි කළ සුපිරි පිතිකරුවෙකු වන Ross Taylor සිය අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගය සඳහා ඊයේ (05) සහභාගී වුනා.

නෙදර්ලන්තය සමඟ පැවති එම තරගය ලකුණු 115කින් ජයග්‍රහණය කරමින් සිය ක්‍රිකට් දිවියට ජයග්‍රාහීව සමුදීමට Ross Taylorට හැකි වූ අතර තරගය ආරම්භයට පෙර සිය දරුවන් තිදෙනා සමඟ පිටියට පිවිසි ඔහු ජාතික ගායනා කරන අවස්ථාවේ හඬා වැටෙනු දක්නට ලැබුණා.

එමෙන්ම ඔහු පිතිකරණය සඳහා පිටියට පැමිණෙන විට නෙදර්ලන්ත ක්‍රීඩකයින් ද ඔහුට සිය ගෞරවය පුද කළ අතර සිය අවසන් ජාත්‍යන්තර තරගයේ දී Ross Taylorට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 14ක් පමණයි.

කෙසේ නමුත් නෙදර්ලන්ත අවසන් පිතිකරුවාගේ උඩපන්දුව රැකගනිමින් සිය ක්‍රිකට් දිවිය නිමා කළ ඔහු ජනවාරි මාසයේ දී ටෙස්ට් පිටියෙන් සමුගෙන තිබූ අතර Taylorගේ වසර 16ක දිගු ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය එලෙස නිමා වුනා.

වසර 16ක ක්‍රීඩා දිවිය තුළ පිත්තෙන් කැපී පෙනෙන දස්කම් පෑ ඔහු ටෙස්ට් ලකුණු 7683ක් සහ එක්දින ලකුණු 8607ක් ලබා ගැනීමට සමත්ව තිබුණා.

නවසීලන්තයට ක්‍රීඩා කිරීම පිළිබඳව සිය අදහස් දක්වමින් Ross Taylor ප්‍රකාශ කළේ එය තමන්ට ගෞරවයක් බව සහ තමන් ක්‍රීඩා දිවියේ සෑම විනාඩියක්ම සැමරූ බවයි.

Taylorගේ ක්‍රීඩා දිවිය පිළිබඳව අදහස් දක්වමින් නවසීලන්ත ක්‍රිකට් ප්‍රධානී Martin Snedden ප්‍රකාශ කර සිටියේ, “Taylor අවිවාදයෙන්ම ලෝක සහ නවසීලන්ත ක්‍රිකට් පිටියෙහි විශිෂ්ටයෙක් කියලා කියන්න පුළුවන්. නමුත් නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් ඔහුව ආදරයෙන් වැළඳ ගෙන ඇත්තේ සංඛ්‍යාලේඛන නිසා විතරක් නෙවෙයි. ඔහුගේ පෞද්ගලික ගුණාංග නිසයි”.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<