බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමෙන් තවත් කොරෝනා ආසාදිතයෙක්

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2020

224

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක අබු ජයිඩ් හට කොරෝනා වයිරසය ආසාදන වී ඇති බව වාර්තා වේ. ඒ බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (23) නිල වශයෙන් තහවුරු කරන ලදි.

ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටින බංග්ලාදේශ ක්‍රීඩකයින් 27 දෙනාම පසුගිය 22 වැනිදා කොරෝනා පරීක්ෂාවකට බඳුන් කළ අතර එහි ප්‍රතිඵල අනුවයි, අබු ජයිඩ් හට කොරෝනා වයිරසය ආසාදන වී ඇති බවට තහවුරු වී ඇත්තේ.

තවත් ක්‍රිකට් පුවත්:

මීට පෙර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සයිෆ් හසන් සහ ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවෙක් වන නික් ලී හට කොරෝනා වයිරසය ආසාදන වී ඇති බවට තහවුරු වූ නමුත් සයිෆ් හසන් මේ වන විට පූර්ණ සුවය ලබා ඇත.

තරගාවලිය සඳහා සහභාගී වන බංග්ලාදේශ කණ්ඩායම මෙම මස 27 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටින්නේ  බංග්ලාදේශයේ දින 7ක් නිරෝධායනය වීමෙන් පසුවයි. අනතුරුව ඔවුන් මෙරටට තුල ද දින 7ක නිරෝධායන කාලයක් අවසන් කර මුළු දින 14ක නිරෝධායන කාලයක් අවසන් කළ යුතුව තිබේ.

පසුව බංග්ලාදේශ කණ්ඩායම ඔක්තෝබර් මස 23 වැනිදා පළමු ටෙස්ට් තරගයට මුහුණ දීම සඳහා සූදානමින් සිටින අතර ඊට පෙර 18 වැනිදා සිට 21 වැනිදා දක්වා ශ්‍රී ලංකා A කණ්ඩායම සමඟ තුන් දින පුහුණු තරගයක් ක්‍රීඩා කිරීමට නියමිතය.

කෙසේ නමුත් රජයේ සහ සෞඛ්‍ය අංශවල රෙගුලාසි සහ ICCය ලබා දී තිබෙන උපදෙස් අනුව කොළඹ සහ පල්ලෙකැලේ ප්‍රදේශ තුළ මෙම තරග පැවැත්වීම සඳහා වැඩි ඉඩක්  ඇත්තේ ඒ සඳහා අවශ්‍ය පහසුකම් එහි තිබෙන නිසාවෙනි.

කොරෝනා වසංගතය නිසාවෙන් කල් දැමුණු මෙම තරගාවලිය ජූලි සහ අගෝස්තු මාසවල දී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් කොරෝනා වසංගත තත්වය නිසාවෙන් එය පෙර පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.

මේ තරගාවලියේ තරග කාලසටහන එනම් තරග පැවැත්වෙන දිනයන් සහ තරග පැවැත්වෙන ස්ථානයන් තවමත් නිල වශයෙන් තහවුරු වී නොමැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<