තිරිමාන්න සහ සඳකැන් ටෙස්ට් සංචිතයට

888
Thirimanne & Sandakan recalled to Test squad

සංචාරක ඉන්දියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගයේ දී අසේල ගුණරත්න සහ සුරංග ලක්මාල් ආබාධවලට ලක්වීම හේතුවෙන් ඒ වෙනුවට ලහිරු තිරිමාන්න සහ ලක්ෂාන් සඳකැන් ටෙස්ට් සංචිතයට කැඳවන්නට ජාතික තේරීම් කමිටුව තීරණය කර ඇත.

චන්දිමාල් එයි. හේරත් සැක සහිතයි

නියුමෝනියා රෝගය වැළඳීම හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් හට ඉන්දියානු කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් තරගය අහිමි විය…

අසේල ගුණරත්නගේ මහපටැඟිල්ල බිඳීමකට ලක්වීම හේතුවෙන් ඔහුට මාස දෙකක පමණ කාලයක් ක්‍රීඩා කිරීමට නොහැකි වන අතර පළමු තරගයේ දෙවැනි ඉනිම අතරතුර පන්දු රැකීමේ දී සිය වම් අතේ මැදැඟිල්ල ආබාධයකට ලක්වීම හේතුවෙන් රංගන හේරත් ද දෙවන තරගය ක්‍රීඩා කරනවා ද යන්න තවම නිශ්චිත නැත.

වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට ද සිය කොන්දේ ආබාධයකින් පෙළීම හේතුවෙන් දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි වී ඇත.

“ඒක ආරක්ෂාවට ගත්ත ක්‍රියාමාර්ගයක්. නැතුව ආබාධයක් නෙමෙයි. ඔහු කොන්දේ වේදනාවක් පිළිබඳව අපිව දැනුවත් කළා. ඒ නිසා අපි තීරණය කළා ඔහුව විවේක ගන්වන්න.”

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ මහතා ThePapare.com වෙත අදහස් දක්වමින් පැවසීය.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන්ට සතුටු විය හැකි කරුණ නම් දෙවන ටෙස්ට් තරගයට දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කිරීමයි. ඔහුව ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගයට දින තුනකට පෙර නියුමෝනියාව වැළඳීම හේතුවෙන් රෝහල් ගතකිරීම නිසා ඔහුට පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට නොහැකි විය.

2011 වසරේ දී ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් අනතුරුව ලහිරු තිරිමාන්න ටෙස්ට් තරග 26කට ක්‍රීඩා කර ඇති අතර ඔහුගේ පිතිකරණ සාමාන්‍ය 24ක් ලෙස සටහන් වී ඇත. 2016 වසරේ දී ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී පැවති ටෙස්ට් තරගයෙන් අනතුරුව ඔහුව කණ්ඩායමට ඇතුළත් ඇතුළත් නොවූ අතර ඉන්දියාව සමඟ පැවති පුහුණු තරගයේ දී ලකුණු 59ක් වාර්තා කරමින් දක්‍ෂතා අතරට පැමිණීම හේතුකොටගෙන ඔහුව නැවතත් සංචිතයට ඇතුළත් කර ඇත.

එමෙන්ම පසුගිය වසරේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ටෙස්ට් වරම් දිනාගත් ලක්ෂාන් සඳකැන් ටෙස්ට් තරග 5 කට ක්‍රීඩා කරමින් කඩුලු 15ක් දවා ගන්නට සමත්ව ඇත. ඔහු අවසන් වරට සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේය.

සංචාරක ඉන්දියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය මෙම බ්‍රහස්පතින්දා (03) SSC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන අතර මේ වන විට තරග 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණේ සිටින්නේ ඉන්දියානු කණ්ඩායමයි.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට