ලෝක කුසලානය අහිමි වීම Ronaldo නමට බලපෑමක් එල්ල කරාවි ද?

FIFA world cup 2022

514
​Ronaldo will remain as a legend without a world cup trophy

ඊයේ (10) මොරොක්කෝව හමුවේ ලද පරාජය සමගින් මෙවර පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත් වීමට පෘතුගාල කණ්ඩායමට සිදු වූ අතර, තරග පරාජයෙන් පසුව පෘතුගාල සුපිරි තරුව Cristiano Ronaldo කඳුළු පිරි දෙනෙතින් යුතුව ක්‍රීඩා පිරිය හැර යන අයුරු දැක ගන්නට ලැබුණා.

තරගාවලිය අරම්භ කිරීමට පෙර පෘතුගාල සුපිරි තරුව Cristiano Ronaldo පැවසුවේ තරගාවලියේ තීරණය කුමක් වුවත් එය තමන්ගේ උරුමයට එයින් බලපෑමක් නොවන බවයි.

මොරොක්කෝව හමුවේ ඊයේ පෘතුගාල කණ්ඩායමට ගෝල 1-0ක් ලෙස පරාජය වීමට සිදු වූ අතර, එයින් Ronaldoගේ ලෝක කුසලාන සිහිනය මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පමණක් සීමා වුනා.

37 හැවිරිදි Ronaldo තරගාවලිය ආරම්භ වීමට ප්‍රථම මෙය ඔහුගේ අවසන් ජාත්‍යන්තර තරගාවලිය වනු ඇති බව පිළිගත් අතර, මෙම තරගාවලියේ තීරණය කුමක් වුවත්, එය ඔහුගේ උරුමයට (Legacy) කිසිදු බලපෑමක් නො කරන බව ද අවධාරණය කළා.

එහි දී ඔහුගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියේ මෙම ලෝක කුසලානය ලොව බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා කවුරුන් ද (Messi ද Ronaldo ද යන ගැට‍ළුව) යන පැනයට පිළිතුරු සපයාවි ද යනුවෙනුයි.

“මම මේ ලෝක කුසලානය දින්නත් ඒ විවාද ඒ විදිහට ම පවතී වී. සමහර මිනිස්සු මට ගොඩක් කැමතියි, සමහරු අකමැතියි. ඒක අපේ ජීවිතය වගේ සමහරු සුදු අයට කැමතියි, සමහරු කළු අයට කැමතියි.

වසරින් වසර මට කළ හැකි දේ පෙන්වන්න මට සිද්ධ වුනා, මම කැමතියි මේ තරගාවලිය ජයග්‍රහණය කරන්න. නමුත් ඔබ කියනවා නම් මම මේ තරගාවලිය දිනන්නේ නැහැ කියලා, ඒත් මම මේ තාක් දිනා ගත් දේවල් ගැන සතුටු වෙන්න පුළුවන්. ඉතිහාස පොත් වල හැම වාර්තාවක් ම රැඳිලා තියේවි, ඒත් ලෝක කුසලානයක අඩුව හැමදාටම දැනේ වී. ඒක හීනයක් විතරක් ම වේවි.”

තමන්ගේ පස්වැනි ලෝක කුසලාන තරගාවලිය ලෙස මෙම තරගාවලියට මුහුණ දීමට පැමිණි Ronaldoට මෑත කාලය ඒ තරම් ම සුබ දායි එකක් වුනේ නැහැ, පළමුව ඔහු හා Manchester United අතර තිබූ ගිවිසුම අවසන් වූ අතර, පසුව තරගාවලියේ මැද බාගයෙ දී ඔහු තරග ආරම්භක ක්‍රීඩකයින් අතරට එක් නොවී බංකුවේ රඳවා තැබීමට කණ්ඩායම් කළමනාකරු (Fernando Santos) විසින් තීරණය කළා.

තරගාවලිය අතරතුර Ronaldoව වෙනත් ක්‍රීඩකයින් මගින් ආදේශ කිරීම පිළිබඳ ඔහුගේ නොසතුට පැහැදිලි වම ප්‍රදර්ශනය වූ අතර ඔහු කණ්ඩායම් කළමනාකරු සමග සංවාදවල නිරත වන අයුරු ද මාධ්‍ය මගින් වාර්තා කළා.

“ඔව් අපි අතර සංවාදයක් ගොඩ නැගුණා, ඒක එහෙම නොවුනා නම් මේක නරක අතට හැරෙන්න ඉඩ තිබුණා,” Santos ඒ ගැන පසුව ඒ විදහේ අදහසක් දක්වා තිබුණා.

මේ අතර මෙම සිදුවීම් නිසා Ronaldo කණ්ඩායමෙන් ඉවත් වන බවට තර්ජනය කළ බවට ද මාධ්‍ය මගින් ප්‍රචාරණයක් ලබා දුන් නමුත් එය සිදුවීමට අදාළ පාර්ශවයන් අතින් ප්‍රතික්ෂේප වුනා.

“මම කණ්ඩායම් පුහුණුකාරිත්වය බාර ගනිද්දී කණ්ඩායම එක්ක ළඟ සම්බන්ධතාවක් පවත්වා ගන්න අවශ්‍ය වුනා. ඔවුන් සමග සමීප සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීම තමයි මගේ ප්‍රවේශය වුනේ.

ඒ නිසා ඒ සංවාදය (Ronaldo සමඟ) සිදු විය යුතු දෙයක් වුනා, ඒ වගේම මම හැම ක්‍රීඩකයෙක් එක්කම මම ඒ විදිහේ සංවාද ගොඩනගා ගන්නේ නැහැ. නමුත් ඔහු තමයි සංචිතයේ නායකයා. ඔහු පෘතුගාල කණ්ඩායම, පෘතුගාල ජනතාව නියෝජනය කරමිනුයි ඇවිත් ඉන්නේ. ඒ නිසා මම ඔහු සමඟ කතාබහ කළ යුතුයි.

ස්විට්සර්ලන්තය සමඟ තරගය ආරම්භ වෙන්න පෙර (දිවා ආහාරය වෙලාවේ) මම ඔහු සමඟ කතාබහක නිරත වුනා. මම ඊට පෙර ඔහු සමඟ ඒ විදිහේ කතා බහක නිරත වුනේ නැහැ.

එදා දවසේ ඔහු සමග මම කතා කළ එකම අවස්ථාව තමයි ඒ, මම ඔහුට එතන දී පැහැදිලි කළා ඔහු ඇයි එදා තරගය ක්‍රීඩා නො කරන්නේ කියලා. මම ඔහුට තේරුම් කළා ඇයි ඔහු තරග ආරම්භයට සම්බන්ධ කර නො ගන්නේ කියලා. මම එය පැවසුවේ ඔහුව පුදුමයට පත් නොවන ලෙසයි.”

ආන්දෝලනාත්මක ලෙස Ronaldo ව කණ්ඩායමේ මූලික ක්‍රීඩකයින් අතරට තෝරා නොගැනීමේ සිදුවීම පිළිබඳ Santos එසේ පැහැදිලි කළා.

මෙවර පාපන්දු ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Mirror ඇසුරිනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<