Ronaldo කඳුළු සලමින් ගෙදර යද්දී, ප්‍රංශය, මොරොක්කෝව අවසන් පූර්ව වටයට

316
portugal vs morocco and england vs france

2022 කටාර් පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අදින් (11) අවසන් වුනා.

ඒ අනුව අර්ධ අවසන් පූර්ව වටයේ අවසන් තරග ද්විත්වය පෘතුගාල සහ මොරොක්කෝ කණ්ඩායම් සහ ප්‍රංශ සහ එංගලන්ත කණ්ඩායම් අතර පැවැත්වුණා.

පෘතුගාලය සහ මොරොක්කෝව

සුපිරි පාපන්දු ක්‍රීඩක Cristiano Ronaldoව පිට පිට දෙවැනි වරටත් බංකුවේ තබමින් පෘතුගාල කණ්ඩායම මොරොක්කෝවට එරෙහිව තරග වැදීමට කටාරයේ Al Thumama Stadium ක්‍රීඩාංගණයට පිවිසුණා.

මෙතෙක් තරගාවලියේ කිසිදු ප්‍රතිවාදී කණ්ඩායමකට පසු කර යා නොහැකි වූ මොරොක්කෝ ගෝල රකින්නා Yassine Bounou ප්‍රමුඛ මොරොක්කෝ ආරක්ෂක වලල්ල බිඳ හෙළමින් ඉදිරියට යෑමට පෘතුගාලය තරගය ආරම්භයේ පටන් ම උත්සාහ ගත්තත්, තරගයේ ප්‍රථම භාගය නිමා වන තෙක් ම ඒ කිසිම උත්සාහයක් සාර්ථකව අවසන් කිරීමට නම් ඔවුන්ට හැකියාව ලැබුණේ නැහැ.

portugal vs moroccoපෘතුගාලය වෙනුවෙන් Joao Felix විසින් ගෝල වාර්තා කිරීමට අවස්ථා කිහිපයක දී ම උත්සාහ කළත් ඒවා ව්‍යර්ථ වුනා. ඒ අතරේ දී 43 වැනි මිනිත්තුවේ දී මොරොක්කෝ ක්‍රීඩක Youssef En Nesyri විසින් ගෝලයක් වාර්තා කිරීමට සමත් වන්නේ ප්‍රබල පෘතුගාලයට එරෙහිව ගෝල 1-0ක් ලෙස මොරොක්කෝවට තරගයේ පළමු භාගයේ වාසිය හිමි කර දෙමිනුයි.

තරගයේ දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගත වෙද්දී (51 වැනි මිනිත්තුවේ දී) සුපිරි ක්‍රීඩක Cristiano Ronaldo ක්‍රීඩා පිටියට ආදේශ කළ අතර පෘතුගාල කණ්ඩායම දිගින් දිගටම තරගයේ ජීවය පවත්වා ගැනීමට  අවැසි ගෝලය ලබා ගැනීමට උත්සාහ දැරුවා.

මේ අතර මොරොක්කෝ ක්‍රීඩක Romain Saïss ආබාධයකට ලක් වී ක්‍රීඩා පිටියෙන් ඉවතට රැගෙන ගියා. දෙවැනි අර්ධයේ දී ද Bruno Fernandes, Felix, Goncalo Ramos  ප්‍රමුඛ පෘතුගාල ක්‍රීඩකයින් විසින් අවස්ථා කිහිපයක දී ම ගෝල ලබා ගැනීම් වෙනුවෙන් උත්සාහ කළ අතර, බොහෝ අවස්ථාවල දී ඒවා නිසි එල්ලයට යොමු කළත් ඒවාට Bounouගෙන් නම් ගැලවීමක් ලැබුණේ නැහැ.

90+3 වැනි මිනිත්තුවේ දී මොරොක්කෝ ක්‍රීඩක Walid Cheddira හට තරගයේ දෙවැනි කහ කාඩ්පතත් ලැබීම නිසා පිටියෙන් ඉවත්ව යාමට සිදු වුනා.

නමුත් එහි වාසිය හෝ ලබා ගැනීමට පෘතුගාලය අසමත් වීමත් සමඟ මිනිත්තු 99කට අධික කාලයක් පුරා පැවැත්වුණු තරගයේ ජය මොරොක්කෝවට හිමි වුනා.

ඒ අනුව පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ අප්‍රිකානු කණ්ඩායමක් අවසන් පූර්ව වටයට පිවිසි ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක් වුනා.

එමෙන්ම සුපිරි පාපන්දු ක්‍රීඩක Ronaldoගේ අවසන් ලෝක කුසලාන තරගය (බොහෝ විට) ලෙස ද මෙම තරගය ඉතිහාසය ගත වනු ඇති අතර, තරගයෙන් අනතුරුව පිටියේ රැඳී නොසිටි Ronaldo කඳුළු සලමින් ක්‍රීඩාගාරය වෙත තනිව ඇවිද යන අයුරු දැක ගන්නට ලැබුණා.

අවසන් ලකුණු තත්වය: මොරොක්කෝව 1 – 0 පෘතුගාලය

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්:

  • මොරොක්කොව : Youssef En Nesyri’s 43′

ප්‍රංශය සහ එංගලන්තය

අර්ධ අවසන් පූර්ව වටයේ අවසන් තරගය මෙය වූ අතර, තරගය දෙපිළට ම විවෘත සහ අනාවැකි පල කිරීමට  අපහසුම තරගවලින් එකක් ලෙස ආරම්භ වුනා.

නමුත් තරග ආරම්භයෙන් මිනිත්තු 17ක් ගෙවෙන තැන ප්‍රංශ ක්‍රීඩක Aurelien Tchouameni විසින් පළමු ගෝලය ලබා ගැනීමට සමත් වුනා.

තරගය නැවතත් සම මට්ටමට ගෙන ඒමට එංගලන්ත ක්‍රීඩකයින් තරගයේ පළමු භාගයේ කැපී පෙනෙන උත්සාහයන් කිහිපයක් ම දැරූ අතර එම ක්‍රීඩකයින් අතරින් Harry Kane වඩාත් ම කැපී පෙනුණු ක්‍රීඩකයා බවට පත් වුනා.

එමෙන්ම ප්‍රංශය ද තවදුරටත් ගෝල වාර්තා කිරීමට උත්සාහ ගනිමින් සිටි අතර, Kylian Mbappé ඒ අතරින් වඩාත් කැපී පෙනුණු ප්‍රංශ ක්‍රීඩකයා ලෙස සඳහන් කළ හැකියි.

එමෙන්ම 43 වැනි මිනිත්තුවේ දී ප්‍රංශ ක්‍රීඩක Antoine Griezmann හට කහ කාඩ්පතක් හිමි වූ අතර තරගයේ පළමු අර්ධය ගෝල 1-0ක් ලෙස ප්‍රංශයට වැඩි වාසි අත් කර දෙමින් අවසන් වුනා.

තරගයේ දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් මිනිත්තු කිහිපයක් ගෙවී යද්දී (54 වැනි මිනිත්තුවේ දී) ප්‍රංශය වෙනුවෙන් ආරම්භක ගෝලය ලබා ගත් Aurelien Tchouameni අතින් එංගලන්ත දඬුවම් කලාපය තුල සිදු වූ වරදක් නිසා එංගලන්තය ට දඬුවම් පහරක් හිමි වුනා.

එංගලන්ත නායක Harry Kane විසින් එම දඬුවම් පහර සාර්ථක කර ගැනීමට සමත් වූ අතර ලකුණු තත්වය ගෝල 1-1ක් ලෙස සම වුනා.

ඉන්පසුව දෙපිළම ඉතා හොඳ තරගයක් ලබා දෙමින් ක්‍රීඩා කළ අතර එංගලන්ත කණ්ඩායමේ Bukayo Saka සහ Harry Maguire යන අය ද, ප්‍රංශය වෙනුවෙන් Antoine Griezmann සහ Olivier Giroud යන අය ද එ් අතර කැපී පෙනුණා.

74 වැනි මිනිත්තුවේ දී ප්‍රංශය වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර ගෝල රැස් කර ඇති ක්‍රීඩකයා වන Olivier Giroud  විසින් සිය හිස භාවිත කර ගනිමින් ගෝලයක් රැස් කිරීමට සමත් වූ අතර එමගින් නැවත ප්‍රංශය වෙතට තරගයේ වාසිය හිමි වුනා.

england vs franceනමුත් ප්‍රංශයට වැඩි වෙලා එය සැමරීමට ඉඩ හිමි නොවුනේ නැවතත් ප්‍රංශ ක්‍රීඩක Theo Hernandez විසින් එංගලන්ත දඬුවම් කලාපය තුල සිදු කළ වරදක් නිසා එංගලන්තයට තවත් දඬුවම් පහරක් හිමිකර දීම නිසයි.

නමුත් අවාසනාවන්ත ලෙස එවර එංගලන්ත නායක Harry Kane හට එය සාර්ථක ගෝලයක් බවට පරිවර්තනය කර ගැනීමට නොහැකි වූ අතර, ඉන්පසුවත් එංගලන්තය විසින් තවත් අවස්ථා කිහිපයක දී ම ප්‍රංශ ගෝල රකින්නා අබිබවා යෑමට උත්සාහ කළත් ඒවා ද ව්‍යර්ථ වුනා.

ඒ අනුව තරගය ගෝල 2-1ක් ලෙස ප්‍රංශය විසින් ජය ගැනීමට සමත් වූ අතර ඔවුන් මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට තේරී පත් වුනා.

අවසන් ලකුණු තත්වය: ප්‍රංශය 2 – 1 එංගලන්තය

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්:

  • ප්‍රංශය : Aurelien Tchouamen17, Olivier Giroud 78
  • එංගලන්තය : Harry Kane 54

මෙවර පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ තරග දෙසැම්බර් 14 සහ 15 දෙදින ආජන්ටිනාව සහ ක්‍රොඒෂියාව අතරත්, මොරොක්කෝව සහ ප්‍රංශය අතරත් පැවැත්වුණු ඇත.

මෙවර පාපන්දු ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<