Ronaldinho තරු පහේ නිවාස අඩස්සියට

134

පැරගුවේ රාජ්‍යයයේ බන්ධනාගාර ගත කර සිටි Ronaldinho සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරා ඉන් නිදහස් කර නිවාස අඩස්සියට ලක්කිරීමට එරට අධිකරණය තීන්දු කර ඇත. 

පැරගුවේ රාජ්‍යයට ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ඇතුළු වීමට තැත්කිරීමේ සිදුවීමකට අදාළව බන්ධනාගාර ගත කර සිටි බ්‍රසීලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක Ronaldinhoට සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරාට ඇප ලබා දී ඉන් නිදහස් කර නිවාස අඩස්සියට ලක්කර ඇත. ඒ අනුව ඔවුන් දෙදෙනා එරට Asuncion හි පිහිටි සුඛෝපභෝගී හෝටලයක් වන Palmaroga හෝටලයේ නිවාස අඩස්සියට ලක්කිරීමට එම නඩුව විභාගයට ගත් Gustavo Amarilla විනිසුරුවරයා තීරණය කර ඇත. කෙසේ නමුත් ඇප ලබා ගැනීම සඳහා ඔවුන් දෙදෙනාට එක් අයෙකුට යුරෝ 650,000 පමණ බැගින් සම්පූර්ණයෙන් යුරෝ මිලියන 1.3ක විශාල ඇප මුදලක් ගෙවීමට සිදුවිය. 

මීට පෙර ද ඔවුන් දෙදෙනා බන්ධනාගාර ගත කළ වහාම ඔවුන්ගේ නීතීඥයින් විසින් ඇප ඉල්ලුම් කරමින් ඔවුන්ව නිවාස අඩස්සියට යටත් කරන ලෙස ඉල්ලා සිටියත් අධිකරණය විසින් එය ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. බන්ධනාගාර ගත කර දින 32කින් පසුව නඩුව නැවතත් විභාගයට ගැනීමේ දී නැවත වරක් සිදුකළ එම ඉල්ලීම් සැලකිල්ලට ගත් Amarilla විනිසුරුවරයා ඔවුන්ට මේ ආකාරයට ඇප ලබා දී නිවාස අඩස්සියට ලක්කිරීමට තීරණය කරනු ලැබීය. එහිදී එම තීරණය පිළිබඳව අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ

“මෙම සිදුවීමට අදාළ පරීක්‍ෂණය දැන් ගොඩක් දුරට ඉදිරියට ගිහින් තියෙන නිසා මම ඔවුන්ව නිවාස අඩස්සියට ලක්කිරීමට තීරණය කළා. මීට මාසෙකට කලින් තිබුන තත්වය ගොඩක් වෙනස්.”

ඔහුව නිවාස අඩස්සියට ලක්කර තිබෙන Palmaroga හෝටලය තරු පහේ සුඛෝපභෝගී පහසුකම් වලින් සමන්විත වන අතර ඔහු එහිදී රැඳී සිටින ‘presidential suite’ හි අඟල් 55 නවත ම ‘smart’ රූපවාහිනියක්, කුඩා පිහිනුම් තටාකයක් සහ Asuncion බොක්කේ ඉතා අලංකාර දර්ශන පථයක් ඇතුළු තවත් නවීන පහසුකම් රැසක් අන්තර්ගතව ඇත. ඒ අනුව මාසයකට අධික කාලයක් බන්ධනාගාරයේ ගතකිරීමෙන් අනතුරුව දැන් Ronaldinho නිවාස අඩස්සියට ලක්ව සිටියත් ඒ හරහා මේ වනවිට නැවතත් ඔහුට සිය හුරුපුරුදු සුඛෝපභෝගී ජීවිතය ගතකිරීමේ අවස්ථාව හිමිව ඇත.

  • Ronaldinhoනිවාස අඩස්සියට ලක්කර තිබෙන Palmaroga සුඛෝපභෝගී හෝටලය
  • Ronaldinhoනිවාස අඩස්සියට ලක්කර තිබෙන Palmaroga සුඛෝපභෝගී හෝටලය
  • Ronaldinhoනිවාස අඩස්සියට ලක්කර තිබෙන Palmaroga සුඛෝපභෝගී හෝටලය

Ronaldinho සහ ඔහුගේ සහෝදරයා ව්‍යාජ ගමන් බලපත්‍ර ආධාරයෙන් එම රාජ්‍යයට ඇතුල් වීමට උත්සාහ කිරීමේ දී බලධාරීන් විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී Dalia Lopez නමැති ව්‍යාපාරික කාන්තාව ඔවුන්ට එම ගමන් බලපත්‍ර ලබා දීමේ දී ඒවා ව්‍යාජ බවට කිසිඳු දැනුමක් ඔවුන් සතුව නොමැති බව ඔවුන් අධිකරණය වෙත ප්‍රකාශ කරනු ලැබීය. ඊට අදාළ පරීක්‍ෂණය අවසන් වනතුරු උපරිමය මාස 6ක කාලයකට යටත් වන ලෙස ඔවුන්ව එරට ‘Agrupacion Especializada’ බන්ධනාගාරයේ බන්ධනාගාර ගත කිරීමට ආරම්භයේ දී තීරණය කෙරිනි.

තවත් කියවන්න:

බන්ධනාගාරය තුළ දී එහි Futsal තරග වලදී ඉහළ දස්කම් දැක්වීම සහ ඔහුත් සමඟ සිටි අනෙක් රැඳවියන් විසින් ඔහුගේ 40 වන උපන් දිනයට කුඩා සාදයක් ලබා දීම ආදී පුවත් කිහිපයක්ම පසුගිය කාලය පුරාවට වාර්තා විය. ඒ අනුව ඔහු කෙමෙන් කෙමෙන් එහි ජීවිතයට හැඩගැසෙමින් සතුටින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියත් ඔහුගේ සමීපතමයන් පවසා සිටියේ ඔහු බන්ධනාගාරය තුළ ඒ වාර්තා වන අන්දමේ සතුටකින් නොසිටින බවයි. 

මේ වන විට ඔවුන්ට එම ව්‍යාජ ගමන් බලපත්‍ර ලබාදුන්නා යැයි සැක කෙරෙන Dalia Lopez ද බන්ධනාගාර ගත කර ඇති අතර මෙම සිදුවීමට අදාළ පරීක්‍ෂණය පුද්ගලයින් 14 දෙනෙකු කේන්ද්‍ර කර ගනිමින් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතියි. කෙසේ නමුත් මීට අදාළව Ronaldinho සහ ඔහුගේ සහෝදරයා වැරදිකරුවන් බව ඔප්පු වුවහොත් ඔවුන්ව උපරිමය වසර 5ක කාලයක් දක්වා බන්ධනාගාර ගතකිරීමේ හැකියාවක් ඇත.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<