Son හමුදා සේවයට 

178
Son undergo military training in South Korea

දකුණු කොරියාවේ සහ එංගලන්තයේ Tottenham Hotspur ක්‍රීඩා සමාජයේ ප්‍රබල ඉදිරිපෙළ ක්‍රීඩක Son Heung-min දකුණු කොරියාවේ සති 3ක අනිවාර්ය හමුදා සේවයට මෙම මාසයේ දී වාර්තා කිරීමට සූදානමින් පසුවන බව වාර්තා වේ. 

දකුණු කොරියාවේ පවතින නීතිවලට අනුව එරට සෑම තරුණයෙක්ම වයස 18 සිට 28 කාල සීමාව තුළ වසර දෙකකට ආසන්න කාලයක් අනිවාර්ය හමුදා සේවයේ නිරත විය යුතු නමුත් ඔලිම්පික් තරගාවලිවල පදක්කම් ලාභී සහ ආසියානු තරගාවලිවල රන් පදක්කම් ලාභී ක්‍රීඩකයින් හට ඉන් නිදහස් වීමට හැකියාව ලබා දී ඇත්තේ ඔවුන්ට අඛණ්ඩව එම ක්‍රීඩා කටයුතුවල නිරත වීමට අවස්ථාව ලබා දී ජාත්‍යන්තර ක්‍රීඩා තරගවල දී පදක්කම් දිනා ගනිමින් එරටට ක්‍රීඩා ක්‍ෂේත්‍රයෙන් කීර්තියක් හිමිකර දීමේ අරමුණ ඇතිවය. 

කෙසේ නමුත් එම වසර දෙකකට ආසන්න සේවා කාලයෙන් නිදහස් වන ක්‍රීඩකයින් ද සති 3ක අනිවාර්ය හමුදා පුහුණුවකට සහභාගී විය යුතුය. 

දකුණු කොරියානු ජාතික පාපන්දු කණ්ඩායමේ නායක, Tottenham Hotspur ප්‍රබල ඉදිරිපෙළ ක්‍රීඩක Son 2018 වසරේ ආසියානු තරගාවලියේ දී සිය කණ්ඩායම පාපන්දු ඉසව්වේ රන් පදක්කම කරා රැගෙන යාමත් සමඟ ඔහු වසර දෙකකට ආසන්න සේවා කාලයෙන් නිදහස් වන්නට සමත් වූ අතර ඒ අනුව තවදුරටත් නිරත විය යුතු සති 3ක අනිවාර්ය පුහුණුව සඳහා ඔහු මේ මාසයේ දී වාර්තා කිරීමට නියමිත බව වාර්තා වේ. 

‘Coronavirus’ වසංගත තත්වය හේතුවෙන් උද්ගතව ඇති තත්වයත් සමඟ යුරෝපය පුරා Premier League තරගාවලිය ද ඇතුළු පාපන්දු තරගාවලි සියල්ලක්ම දින නියමයකින් තොරව කල් ගොස් ඇති පසුබිමක පාපන්දු තරග හා පුහුණුවීමේ කටයුතුවලට බාධාවක් ඇති නොවන හෙයින් එම නියමිත හමුදා පුහුණුව සඳහා ඔහු මෙම කාල සීමාව තෝරාගන්නට හේතු වී ඇත. 

පසුගිය දා එංගලන්තයේ සිට දකුණු කොරියාව බලා පැමිණි ඔහු එරට නීතිවලට අනුව මේ වන විට සිය නිවස තුළ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් පසුවන අතර දේශීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ මෙම මස 20 වන දින සිට එරට Jeju දූපතෙහි ස්ථාපිත කර ඇති හමුදා අංශයක ඔහු මෙම පුහුණුව ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි. 

එරට හමුදා නිලධාරියෙක් සඳහන් කළ අන්දමට ඔහුගේ හමුදා පුහුණුව සෑම නව හමුදා භටයෙක්ම සාමාන්‍යයෙන් නිරත වන පුහුණුවේ කෙටි කරනු ලැබූ එකක් වනු ඇති අතර ඊට විනය අධ්‍යාපනය, වෙඩි තැබීමේ අභ්‍යාස ඇතුළු යුද අභ්‍යාස හා රසායන, ජෛව, විකිරණ සහ පරමාණුක අභ්‍යාස ද ඇතුළත් වේ. 

ඒ අනුව මෙම පුහුණුව සති 3ක් වැනි කෙටි කාලයක් පමණක් පැවතියත් එය ඉතා අසීරු මෙන්ම තීව්‍ර එකක් වනු ඇති අතර ඊට තවදුරටත් කඳුළු ගෑස් සඳහා නිරාවරණය වීම සහ කි. මී. 30ක පාගමනක් ද ඇතුළත් ය.

මෙම පාගමන සඳහා සාමාන්‍ය නව හමුදා භටයින් කිලෝ ග්‍රෑම් 40ක පමණ බරැති අවි ආයුධ ඇතුළු උපකරණ රැගෙන එන නමුත් එරට හමුදා බලධාරීන් වාර්තා කර සිටියේ තාවකාලික පුහුණුවට එක්වන්නන් සඳහා ඔවුන්ගේ පුහුණුව සිදුවන ආකාරය අනුව එම බර සීමාව විශාල ලෙස අඩු කරනු ඇති බවයි. 

මේ වන විට ඔහු සිය අතේ සිදුව ඇති ආබාධයකින් සුවය ලබමින් සිටින අතර අවශ්‍ය වුවහොත් හමුදා වෛද්‍ය නිලධාරීන් විසින් එම පුහුණු කාල සීමාව තුළ ඊට අදාළ ප්‍රතිකාර සිදු කරනු ඇති බව ද වාර්තා වේ.

තවත් කියවන්න;

මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ;

“අපේ පාපන්දු සමාජය තහවුරු කර සිටිනවා Son මෙම මාසයේ දී දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා පුහුණුව ආරම්භ කරන බව. ඒ වගේම පෙබරවාරි 10 වන දින Aston Villa සමඟ පැවති අපි ගෝල 3-2ක ජයග්‍රහණයක් ලබා ගනු ලැබූ තරගයේ දී ඔහුගේ අතේ සිදු වූ ආබාධයෙන් සුවය ලැබීමේ අවසාන අදියරේ ඔහු මේ වන විට සිටින නිසා අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලය නිරන්තර ඔහු සමඟ සම්බන්ධයෙන් සිටිනවා.”

එහි දී තවදුරටත් ඔවුන් තහවුරු කර සිටියේ එළඹෙන මැයි මාසයේ දී හමුදා පුහුණුව අවසන් වූ වහාම ඔහු නැවතත් එංගලන්තයේ London නුවර බලා පැමිණෙනු ඇති බවයි. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<