Ronaldinho බන්ධනාගාරයේත් වැඩ පෙන්වයි

116

මේ වන විට පැරගුවේ රාජ්‍යයේ බන්ධනාගාරගතව සිටින බ්‍රසීලයේ හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක Ronaldinho එහි දී පැවති ‘Futsal’ තරගයක දී විශිෂ්ට දක්ෂතා දැක්වූ පුවතක් පිළිබඳව වාර්තා වේ. 

ඒ අනුව එහි දී පැවති ප්‍රදර්ශනාත්මක තරගයක දී වසර ගණනාවක් පුරාවට ජාත්‍යන්තර පාපන්දු පිටිය තුළ දැක්වූ දක්‍ෂතා නැවතත් කරළියට රැගෙන ආ මේ වන විට 39 වැනි වියේ පසුවන Ronaldinho ගෝල 5ක් වාර්තා කරගනිමින් තවත් ගෝල 6ක් වාර්තා කරගැනීමට, පන්දු පිරිනමමින් (assists) සිය කණ්ඩායම එහි දී වාර්තා කර ගත් ගෝල 11ට ම ඔහුගේ දායකත්වය ලබා දී ඇත. ඒත් සමඟම ඔහුගේ කණ්ඩායම තරගයෙන් ගෝල 11-02ක පහසු ජයග්‍රහණයක් මෙහි දී වාර්තා කරගැනීමට සමත්ව ඇත. 

එහි දී පැවැත්වෙමින් තිබූ ‘Futsal’ තරගයක් නරඹමින් සිටි ඔහු හට එම තරගය සමඟ එක්වන ලෙසට ආරාධනා ලැබීමත් සමඟ ඒ හා එක්වෙමින් ඔහු මේ ආකාරයට දක්ෂතා දක්වා ඇත. 

ඔහු මේ වන විට බන්ධනාගාර ගතකර සිටින පැරගුවේ රාජ්‍යයේ ‘Agrupacion Especializada’ බන්ධානාගාරයේ මාස 6කට වරක් ‘Futsal’ තරගාවලියක් පවත්වනු ලබන අතර ඒ සඳහා මෙම වසරේ දී කණ්ඩායම් 15ක් සහභාගී වන බව වාර්තා වේ. 

Ronaldinhoට වැඩ වරදී

එහි දී සිය කණ්ඩායම් සමඟ එක්වන ලෙස අදාළ කණ්ඩායම්වල සියලුම නායකයින්ගෙන් Ronaldinho හට ඇරයුම් ලැබී ඇතත් ඒ සඳහා සහභාගී වීමට තීරණයක් ඔහු තවමත් ගෙන නොමැති බව තවදුරටත් වාර්තා වේ. 

පැරගුවේ රාජ්‍යයට ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ඇතුළු වීමේ සිදුවීමකට අදාළව පසුගිය දා ඔහුත් ඔහුගේ වැඩිමහල් සොහොයුරාත් අත්අඩංගුවට පත්වූ අතර ඊට අදාළ පරීක්ෂණ සිදු කරන බලධාරීන් හට සිය උපරිම සහයෝගය ලබා දීම හේතුවෙන් ඔවුන් දෙදෙනා බොහෝ විට නිදහස් කරනු ඇතැයි පුවත් පැතිර ගියත්, අධිකරණයේ තීරණය වූයේ පරීක්ෂණය අවසන් වනතුරු ඔවුන් බන්ධනාගාර ගතකරන ලෙසයි. 

පැරගුවේහි පරීක්ෂණයක් අවසන් කිරීම සඳහා ගත වන උපරිම කාලසීමාව වන මාස 6ක කාලසීමාව අවසන් වනතුරු එම තීරණය බලපැවැත්වෙන අතර අදාළ පරීක්ෂණ කටයුතු ඊට පෙර අවසන් වී ඔවුන් දෙදෙනා නිදහස් වනු ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි. 

Ronaldinho මේ සම්බන්ධයෙන් බලධාරීන් හට නිදහසට කරුණු දක්වමින් පවසා ඇත්තේ ඔවුන් එම ගමන් බලපත්‍ර ලබා ගැනීමේ දී ඒවා ව්‍යාජ බවට කිසිදු දැනුමක් ඔවුන් සතුව නොමැති බවයි. ඒ අනුව ඔවුන්ට එම ගමන් බලපත්‍ර ලබා දුන් පැරගුවේ රාජ්‍යයේ ව්‍යාපාරික කාන්තාවක් වන Dalia Lopez නමැති තැනැත්තිය මේ වන විට ප්‍රශ්න කිරීමකට ලක්කර ඇති අතර ඇයව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ද නිකුත් කර ඇත. 

මේ වන විට බන්ධනාගාරය තුළ ඔහු සතියක පමණ කාලයක් ගතකර ඇති අතර එහි පළමු දින කිහිපය ඔහු ඉතා අසීරුවෙන් ගතකර ඇති නමුත් මේ වන විට ඔහු ඊට හැඩගැසෙමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව ඒ තුළ බන්ධනාගාර ගතකර සිටින අනෙක් පුද්ගලයින් සමඟ ඔහුගේ සුපුරුදු සිනාමුසු මුහුණින් කතාබහ කරමින් මේ වන විට කාලය ගතකරමින් සිටින ඔහු ඒ තුළ කාගේත් අවධානයක් දිනා ගත් චරිතයක් බවට පත්ව ඇත්තේ නිරන්තර සමරු සටහන්වලට ද අත්සන් තබමිනි. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<