Ronaldinhoට වැඩ වරදී

82

බ්‍රසීලයේ හිටපු පාපන්දු සුපිරි තරුවක් වන Ronaldinho දකුණු ඇමරිකානු රටක් වන පැරගුවේ හිදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ දකුණු ඇමරිකානු රටක් වෙත ව්‍යාජ වාර්තා ඉදිරිපත් කරමින් ඇතුල්වීමට උත්සාහ කිරීම නිසාවෙන්. 

2002 වසරේ දී පාපන්දු ලෝක කුසලානය බ්‍රසීලයට හිමිකර දීමට නායකත්වය සැපයූ Ronaldinho මේ වන විට 39 හැවිරිදි වේ. පැරගුවේ හි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකු පැවසුවේ Ronaldinho පැරගුවේ රිසෝට් යාට් ඇන්ඩ් ගොල්ෆ් ක්ලබ් හි ඔහුගේ සහෝදර Roberto සමඟ බදාදා රාත්‍රියේ රඳවා සිටි බවයි.

ලා නේෂියන්ට අනුව, පැරගුවේ ජාතිකත්වය සහිත Ronaldinhoගේ හා Robertoගේ නම් සඳහන් විදේශ ගමන් බලපත්‍ර දෙකක් ඔවුන් රැඳී සිටි හෝටලයේ තිබී ඇත.

පැරගුවේ බලධාරීන් බ්‍රහස්පතින්දා උදේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීමට සූදානම් වන අතර Ronaldinho හා ඔහුගේ සහෝදරයා ද හෝටලයේ රැඳී සිටිති.

පැරගුවේ පොලිසිය කළ නිල ප්‍රකාශයකට අනුව කැසිනෝ හිමිකරුවෙකු වන නෙල්සන් බෙලෝටි විසින් රොනල්ඩිනෝ සහ ඔහුගේ පිරිසට පැරගුවේ වෙත ආරාධනා කර තිබේ.

රසිකයන් සහ සම්භාවනීය අමුත්තන් සමඟ ඔහුගේ අන්තර් සම්බන්ධතා අඩු කරගැනීම සඳහා Ronaldinho ප්‍රසිද්ධ උත්සව සඳහා සහභාගි වීම අඩු කර ඇත. 

කෙසේ වෙතත් රොනාල්ඩිනෝ දැනට බ්‍රසීලියානු විදේශ ගමන් බලපත්‍රයක් නොමැතිව සිටින්නේ 2018 දී ඔහුට ලැබුණු පාරිසරික දඩයක් හේතුවෙනි.

2015 වසරේ දී ගුවෙයිබා විලෙහි ස්ථිර සංරක්ෂණ ප්‍රදේශයක නිසි බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස ධීවර උගුලක් තැනීම සම්බන්ධයෙන් හිටපු බාර්සිලෝනා තරුව සහ ඔහුගේ සහෝදරයා වරදකරුවන් විය.

එම වරද නිසා 2018 නොවැම්බර් මාසයේ දී Ronaldinhoට හා ඔහුගේ සහෝදරයාට ඩොලර් මිලියන 8.5ක දඩයක් නියම වූ අතර එය ගෙවීමට අපොහොසත් වීමෙන් පසු බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රොනාල්ඩිනෝට රට හැර යාම වළක්වමින් තීන්දුවක් නිකුත් කළේය. 

බ්‍රසීලයෙන් පිටව යාමට නොහැකි වුවද, රොනාල්ඩිනෝ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී සංචාරක කර්මාන්තයේ නව තානාපතිවරයකු ලෙස පත්කරන ලදී.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තම මව්බිමෙහි අතරමංව සිටින හිටපු ඒසී මිලාන් තරුව බ්‍රසීලයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ කාර්යභාරයක් භාර ගැනීමෙන් පසු තම උපරිමයෙන් එරට සංචාරක කර්මාන්තය දියුණු කිරීමට කැපවන බව පැවසීය.

“රැකියා උත්පාදනය කිරීමට සහ ජාත්‍යන්තරව අපගේ ප්‍රතිරූපය නැවත ලබා ගැනීම සඳහා සංචාරක ව්‍යාපාරය ඉතා වැදගත් ” යැයි තානාපතිවරයකු ලෙස කටයුතු ආරම්භ කරමින් Ronaldinho පැවසීය.

Ronaldinho දකුණු ඇමරිකාව සහ යුරෝපය පුරා කීර්තිමත් ක්‍රීඩා දිවියක් ගත කළ අතර – චැම්පියන්ස් ලීග්, ලා ලීගා, සේරි ඒ සහ කෝපා ලිබර්ටඩෝර්ස් කුසලාන දිනා ගැනීමට සමත් විය.

ඔහු 2005 Ballon d’Or සම්මානය සහ 2004 හා 2005 වසරවල FIFA වසරේ ක්‍රීඩකයා ඇතුළු තනි පුද්ගල සම්මාන රාශියක් දිනා ගැනීමට සමත් විය. 

පෝටෝ-ඇලෙග්‍රේ හි උපත ලැබූ මේ ක්‍රීඩකයා 2002 දී දකුණු කොරියාවේ සහ ජපානයේ ජූල්ස් රිමෙට් කුසලානය ජයග්‍රහණය කළ අතර 1999 දී බ්‍රසීල කණ්ඩායම සමඟ කෝපා ඇමරිකා කුසලානය ද දිනා ගත්තේය.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<