මහීෂ්ගේ අලුත්ම තත්වය; දික්වැල්ල සහ ධනංජය සංචිතයට

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2022

1679

ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණගේ ආබාධය පිළිබඳව සිදු කළ MRI ස්කෑන් පරීක්ෂාවට අනුව ඔහුට ඉන්දියාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියම මඟ හැරී යන බව වාර්තා වෙනවා.

ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වුණු අවසන් විස්සයි විස්ස තරගයේ දී මහීෂ් අවාසනාවන්ත ලෙස මේ ආබාධයට ලක්ව තිබෙන අතර ඔහුගේ පාදයේ කලවා ආශ්‍රිත මස්පිඩු ඉරීම පළමු ශ්‍රේණියේ (Grade 1 hamstring tear) ආබාධයක් බව හඳුනා ගෙන තිබෙනවා.

දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් වෙනුවෙන් ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට පළමු වරට කැඳවුම් ලැබූ අශේන් ඩැනියල් ඊයේ (24) දිනයේ දී ඉන්දියාව බලා පිටව ගොස් තිබෙනවා. ඒ ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා එකතු වීම වෙනුවෙුනයි.

ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට පමණක් නම් කළ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සහ කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට ද ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව එම ක්‍රීඩකයින් තිදෙනාම දෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගවල තේරීම් කටයුතු සඳහා සලකා බැලීමට නියමිත බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (24) Lucknow හිදී පැවැත්වුණු පළමු තරගය ලකුණු 62කින් ජය ගැනීමට සමත් වුනු ඉන්දියාව 1-0ක් ලෙස දැනට තරගාවලියේ පෙරමුණ දිනාගෙන සිටිනවා.

දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි විස්ස තරගය මේ මස 26 වැනිදා ධර්මසාලා හිදී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<