දිමුත්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය තෝරයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2022

1464

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරග දෙකකින් සමන්විත ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය සඳහා තරග කරනු ලබන ශ්‍රී ලංකා සංචිතය අද (25) නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කළා.

මේ සංචිතය සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙක් ඇතුලත්ව සිටි නමුත් රමේෂ් මෙන්ඩිස් ආබාධයකට ලක්ව සිටින නිසාවෙන් ඔහු මේ ටෙස්ට් තරගාවලියට ද ක්‍රීඩා කරන්නේ නැහැ. ආබාධයකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස් සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවුවහොත් පමණක් මේ තරගාවලියට එක්වීමට නියමිතයි.

පසුගිය වසර අවසානයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වුණු ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩා නොකළ ලහිරු තිරිමාන්න යළිත් සංචිතයට කැඳවා තිබෙනවා. ඊට අමතරව නිරෝෂන් දික්වැල්ල සිය තරග තහනම ඉවත් කිරීමෙන් පසුව නැවතත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ ස්ථානයක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ තවත් දක්ෂ වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන සුරංග ලක්මාල් මේ ඉන්දීය ටෙස්ට් තරගාවලියට පසුව සිය වසර 12ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය සඳහා සමුදීමට සූදානමින් සිටිනවා.

තරගාවලියේ පළමු ටෙස්ට් තරගය මාර්තු 4 වැනිදා සිට 8 වැනිදා දක්වා ඉන්දියාවේ මොහාලි හිදී පැවැත්වීමට නියමිත අතර එහි දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය මාර්තු 12 වැනිදා සිට 16 වැනිදා දක්වා Bengaluru හිදී දිවා/රාත්‍රි ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි. ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුල පැවැත්වෙන පළමු දිවා/රාත්‍රි ටෙස්ට් තරගය මෙයයි.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය

දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, ලහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, චරිත් අසලංක, නිරෝෂන් දික්වැල්ල, චාමික කරුණාරත්න, ලහිරු කුමාර, සුරංග ලක්මාල්, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩර්සේ, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙණිය.

ශ්‍රී ලංකාව අවසන් වරට 2020 ජනවාරි මාසයේ දී ඉන්දියාවේ සංචාරයක නිරත වුනු අතර එම තරගාවලියට ඇතුළත් වුනේ විස්සයි විස්ස තරග තුනක් පමණයි. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමක් 2017 වසරට පසුව ඉන්දියාව සමඟ ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කර නොමැති අතර මේ ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන්නේ වසර 5කට පසුව වීම මේ තරගාවලියේ තිබෙන තවත් සුවිශේෂීතාවයක් වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ කාලසටහන

දිනය තරගය ක්‍රීඩාංගණය
පෙබරවාරි 24 පළමු විස්සයි විස්ස තරගය Lucknow
පෙබරවාරි 26 දෙවැනි විස්සයි විස්ස තරගය Dharamsala
පෙබරවාරි 27 තෙවැනි විස්සයි විස්ස තරගය Dharamsala
මාර්තු 4 සිට 8 දක්වා පළමු ටෙස්ට් තරගය Mohali
මාර්තු 12 සිට 16 දක්වා දෙවැනි ටෙස්ට් තරගය (දිවා/රාත්‍රී) Bengaluru

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<